යකා නටන ප්‍රභූන්

යකා නටන ප්‍රභූන්

'ප්‍රභූවරු නීතියට ඉහළින් සිටිති' යනුවෙන් තුබූ යල්පැන ගිය හණමිටි සංකල්පයට කුළුගෙඩි පහර එල්ල කළේ ඇරිස්ටෝටල් නම් සුප්‍රකට දාර්ශනිකයාය. නීතිය සියලු දෙනාටම ඉහළින් සිටින්නේය යන්න හෙතෙම සමාජගත කළ අතර 16 වැනි සියවසෙහි ජීවත් වූ ස්කොට්ලන්ත ජාතික සැමුවෙල් රදර්ෆඩ් එය 'Rule of Law' යනුවෙන් හඳුන්වා දුන්නේය.

තත්ත්වය එසේ වුවද තවමත් සමාජය 'ප්‍රභූත්වය' කරපින්නාගෙන සිටිනු දැකිය හැක. අයෝමය පර්වතයක් වැනි රූපකායත් පිරිවරාගත් දැසි දස්සනුත් යෝධයන් සරි රැකවලුණුත් සිටින විට මහේශාක්‍ය තත්ත්වයකින් ඔද වැඩෙන සමහරක් ප්‍රභූන් ඔටුන්න වෙනුවට අං පැළඳ ගන්නා අවස්ථා එමටය.

එහි ආසන්නම සාක්ෂිය වී අයි පී රථයකට රිසි සේ ඉගිලෙන්නට ඉඩ නොදුන් වෑන් රථ රියදුරකුට වී අයි පී ආරක්ෂකයා පහර දෙන දසුනය.

මහජන නියෝජිතයකු හෝ ප්‍රභූවරයකු වීම පුරවැසියා ඉක්මවාගිය 'තැනක්' තමන්ට ලැබීමක් සේ සලකන රටක අපි ජීවත් වෙමු. ‘නීතියේ බලය' යන සංකල්පය ශ්‍රී ලංකාවේ නීතියේම කොටසක් බවට පත්ව ඇති බව බොහෝ දෙනකු දන්නේ නැත. දන්නා අයගෙන් වැඩි පිරිසක් ඒ ගැන තකන්නේද නැත.

ජනතා පරමාධිපත්‍ය සින්නක්කරයට තමන්ට පවරා ඇතැයි සමහර මහජන නියෝජිතයෝ විශ්වාස කරති. පුරවැසියා යටත්වැසියා සේද මහජන නියෝජිතයා ප්‍රභූත්වයෙහිලාද සලකන තත්ත්වයකදී උන්මත්තක සේයාවෙන් හැසිරෙන ආකාර අපි කොතෙකුත් දැක ඇත්තෙමු.

ප්‍රභූ යැයි හිතන පිරිස්වලට රිසි සේ යන්නට ඉඩදිය යුතුයැයි ඔවුන් විශ්වාස කළද නීතියේ එවැනි අවසරයක් නැත. 203 වැනි අධිකාරය යන නමින් හඳුන්වනු ලබන මෝටර් රථ ප්‍රවාහන පනතේ ප්‍රභූ රථ වාහන වෙනුවෙන් වෙනම මුක්තීන් ඇතුළත් කර නැත.

එනයින් ගත්කල ප්‍රභූ රථවාහනවලට එක් නීතියකුත් අනෙක් වාහනවලට වෙනත් නීතියකුත් බලපෑමට ඉඩක් නැත.

එහෙත් තමන්ගේ බලපුළුවන්කාරකම අති උද්දච්ඡ ලෙස සමාජයට පෙන්නුම් කරනු පිණිස බොහෝ දේශපාලනඥයන් මාර්ග නීතීරීති අමු අමුවේ උල්ලංඝණය කරමින් ගමන් කරන අවස්ථා දැකිය හැක. වේග සීමා නොතකා හරිමින්ද මාර්ගයේ වැරදි දිශාවෙන් ධාවනය කරමින්ද එක් දිශාවකට පමණක් ධාවනයට අවසර තිබෙන මාර්ගවල පවා ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය කරමින්ද කුලප්පු වූ ආකාරයෙන් හැසිරෙන අවස්ථා බොහෝ දැක ඇත.

පසුගියදා වෑන් රථ රියදුරකුට පහර දුන්නේ 'සිහින ජනාධිපති'වරයකුගේ ආරක්ෂකයෝ බව හැඳිනගෙන තිබේ. තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වනු පිණිසත් නැති ප්‍රභූත්වයක් පෙන්වනු පිණිසත් මේ පුද්ගලයා කටයුතු කර තිබේ.

මෙය මානසික ව්‍යාධියකි. බෙහෙත් නැත.!

ඩිපෙන්ඩර් රථ අවභාවිතයේ යෙදවීම කාලාන්තරයක සිට පැවත එන කුල්ලප්පුවක ප්‍රතිඵලයකි. ඩිෆෙන්ඩරයක් යනු අපරාධයක් හෝ නීතිය අතට ගනු ලබන උපකරණයක් තරමටම පරිවර්තනය වී ඇති සෙයකි. ඒ තරමටම ඩිෆෙන්ඩර් අවභාවිතා වී තිබේ. විශේෂයෙන්ම මැතිවරණ සමයන්හිදී මෙවන් ඩිෆෙන්ඩර් සමයං නටනු ඕනෑ තරම් මේ සමාජය දැක තිබේ.

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී ජනතාවට අවහිර වන සේ මාර්ග වසන්නට එපා යැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ මීට මාස කිහිපයකට පෙරය. යුද්ධය පැවැති සමයේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව නංවනු පිනිස ගත් ක්‍රියාමාර්ග අතර ප්‍රභූ ආරක්ෂක රිය මුල්තැනක් ගනු ලැබීය. එහි ප්‍රයෝජනය ගත් දේශපාලනඥයෝ රෑ දවල් නිනව්වක් නැතිව ස්වකීය මාන්නය රිය පෙරහැර තුළින් පෙන්වූහ. දේශපාලනඥයාටත් වඩා ඔවුන්ගේ ඥාතීහු, හිතවත්තු, අන්තේවාසිකයෝ මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත්හ. ඩිෆෙන්ඩර් මත නැඟ අයාලේ ගිය පුතුන් ගැන කතා එමටය. ඩිෆෙන්ඩර් මඟින් ප්‍රතිමල්ලවයන් පැහැරගෙන ගිය අවස්ථාද බොහෝය. යුද්ධයට මුවා වී ඇතැමුන් බොහෝ වරප්‍රසාද ලද අතර නැති බලයක් ආරෝපණය කර ගන්නටද සමත් වූහ. ඇතැම් ආයතන ප්‍රධානීන්, ඇමැති කාර්යමණ්ඩල සාමාජිකයන් පවා ප්‍රභූත්වයක් ආරෝපණය කරගත්තේ එවක ඇමතිලාට ලද ‘උජාරුව’ මුල්කරගෙනය.

දැන් ඇති යුද්ධයක් නැත.

එවන් තත්ත්වයක් තුළ පවා ප්‍රභූ යැයි කියාගත් ගවරුන් යකා නැටීම උන්ගේ කාලකන්නිකමය.

කාලකන්නිකම උන් සතුව තියාගත්තාට කමක් නැත. එයින් සාමාන්‍ය පුරවැසියා සසල කිරීමට උන්ට අයිතියක් නැත.

මාතෘකා