ජාතිවාදී පක්ෂ

ජාතිවාදී පක්ෂ

දේශපාලන කරළියේ 'තටු මැවෙමින්' තිබෙන පුවතක් වන්නේ ජනාධිපතිවරණයට මුස්ලිම් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට යන බවට පළවන පුවතය. මෙහි සත්‍ය අසත්‍යතාව තවමත් නිශ්චිත නැතත් එය එසේ වේවි නම්! යන අසම්භාව්‍ය ක්‍රියාවේ සිට බැලූ කල හොඳ නරක දෙකක් අපට සම්මුඛ වේ.

ඉන් එකක් වන්නේ රටම එකම ඡන්ද කොට්ඨාසයක් සේ ගනු ලබන ප්‍රධානතම සහ එකම මැතිවරණයේදී තීරණාත්මකව ජනවාර්ගික පදනමින් ඡන්ද පදනම් බෙදී යෑමය.

එය සහමුලින්ම සංහිඳියාවක්, ජාතිකත්ව එකමුතුවක් සහ බහුවාර්ගිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නන් කෙරෙහි බලපානේ අහිතකරවය.

ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ගේ පවත්නා අවස්ථාවාදී සහ ගූඪ ස්වරූපය තවත් තැනකට විතැන් වී සමාජ ආකූලත්වය දෙගොඩතලා යන්නට එය හේතුවක් විය හැකිය. අලි මදිවට කොටි ඒ මදිවට නරි කියන්නා සේ මිනිසුන් තවදුරටත් බෙදී වෙන්වනු ඇත. මුස්ලිම් අපේක්ෂකයකු ඉදිරිපත් කොට වෙන්කරගන්න ඡන්ද ගොඩ ඔවුන්ගේ ජනාධිපතිවරයකු බිහි කිරීමට ප්‍රමාණවත් නැත. මුස්ලිම් හෝ දෙමළ ජනාධිපතිවරයකු බිහිවීම නොමැනවැයි යන්න එයින් ගම්‍ය නොකරන බවද මෙහිලා පැවසිය යුතුය.

එහෙත් මහ පොළොවේ යථාර්ථය අනුව එය හුදෙක් සිහිනයකි.

එබැවින් වඩා තර්කානුකූල පදනම වන්නේ ඉන් මෙපිට තීන්දුවක් කෙරෙහි යොමුවීමය.

අනෙක් අතට හුදු ජාතිවාදී පක්ෂ විසින් මෙරට පොදු සමාජය මත වපුළ ඵලදායී බිජුවටක් නැති අතර සමාජයට නෙළා දුන් සරු අස්වැන්නක්ද නැත. දිනෙන් දින හලාහල විෂ බිංදු සමාජ දේහයට කාන්දු කරන්නටත් සමාජය කුණුව ඕජස් ගලන වණයක් බවට පත් කරන්නටත් ජාතිවාදී පක්ෂ හේතු භූත විය.

ස්වකීය ආගම හෝ ස්වකීය ජාතිය හැරපියා අන් කිසිවක් ප්‍රයෝජන ලවයකුත් නැති ඒවා සේ හඟින්නෝ මෙවන් ජාතිවාදී අන්තයක කැදළි තනන්නෝය. ඔවුහු සමාජය අවා පුරයක් බවට පෙරළති.

සැමකෙක්ම පවසනුයේ සත්‍ය ආගම තමන්ගේ විශ්වාසය පමණක් බවය. දුෂ්ටත්වයේ මුල මෙයයි. අනාගත අරගල‍ය සඳහා මතවාදී ආයුධ අපට සපයන පුරාතන චින්තනයන්ගේ අදහස් සහ අත්හදා බැලීම් සංවර්ධනය කරනු වෙනුවට අපි ගතානුගතික ආගමක සිරවෙමු. මෙලෙස මිනිසාගේ පිබිදීම නිශ්චල ජලාශයක ගිල්වා දමයි යනුවෙන් පවසන්නේ ශිව් වර්මාය.

ශිෂ්ටසම්පන්න ජන සමාජයක් ආගම, කුලය, ජාතිය මත බර තබමින් 'සොම්බින්' මෙන් හැසිරෙන්නේ නැත. එහෙත් උන්මත්තක ජාතිවාදය කරපින්නා ගනු ලබන්නා විසින් සිය එදාවේලත් ජීවන පැවැත්මත් යනාදී සියල්ල වෙන් කරන්නේ ජාතිවාදය, ආගම්වාදය තුළින් අන්තවාදය බිහි කිරීම උදෙසාය.

ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලන පක්ෂ ගැනද කියන්නට තිබෙන්නේ එවන් කතාවකි.

ශ්‍රී ලංකාව අතීතයේ සිටම බහු ජාතික, බහු ආගමික රටකි. මානව විවිධත්වය කෙරෙහි මානවීය දෘෂ්ටියක් නැති මිථ්‍යාදෘෂ්ටිකයෝ කිසිවෙක් එකී 'නෙක පාට' විචිත්‍රත්වය ප්‍රිය නොකරති. එහෙත් ශිෂ්ටත්වයේ අපූර්වත්වයට අනුගත මිනිස්සු ඊට ප්‍රිය කරති.

එවන් සමාජයක ජාතිවාදී, ආගම්වාදී අර්ථයෙන් දේශපාලන පක්ෂ බිහිවෙනවා නම් එය අවාසනාවන්ත තත්ත්වයකි. එකී අවාසනාවන්ත තත්ත්වය සිදුව තිබේ.

කාලාන්තරයකට ආපසු හැරවිය නොහැකි තරමට බරපතළ ව්‍යසන මෙරටට උරුම කළේ ජාතිවාදී, ආගම්වාදී පක්ෂ විසිනි.

එක්සත් ජාතික පක්ෂය බිහි වූයේ සියලු ජාතීන් සහ සියලු ආගමිකයන් උදෙසාය. ශ්‍රීලනිපයද එසේමය. ඔවුන් එකිනෙක පක්ෂවල අඩුවැඩි වශයෙන් ජාතිකත්ව සහ ආගමික ලැදියාවන් තිබෙන නමුදු ඒ තත්ත්වය අන්තවාදී කොනකට තල්ලු වී නැත.

එහෙත් සෘජුවම ආගමික සහ ජාතිකත්ව පදනමෙන් පක්ෂ බිහි වීමෙන් සිදුව තිබෙන බරපතළ ව්‍යසනය රටක් වළපල්ලට දක්කාගෙන යන්නට තරම් සමර්ථව ඇත. එපමණක් නොව 'ජාතිවාදී අසූචි' සැපයි සැපයි කියා ගොදුරු බවට පත් කරගන්නා පිරිසක් දැකිය හැක.

එවන් තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයේදීත් ජාතිකත්වයට සහ ආගමික අන්තවාදයට අත්උදව් දෙන්නට හිතනවා නම් එය අවාසනාවකි.

මාතෘකා