නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය වීමේ අවශ්‍යතාව

නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය වීමේ අවශ්‍යතාව

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.පනත) යටතේ පවරා තිබෙන නඩු පිළිබඳ කථිකාවතක් ඇරඹී තිබේ. ශක්තික සත්කුමාර නමැති ලේඛකයා සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ කෙටිකතාවකට එරෙහිවද එක් නඩුවක් පවරා ඇති අතර ඇප ලබා නොදීම නිසා දින 100ක කාලයද ඉක්මවා ඔහු රක්ෂිත බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටී. ඔහුට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයකින් පමණි. අයි.සී.සී.පී.ආර්. පනතෙහි 3 වගන්තිය හා 4 උප වගන්තියට අනුව ඇප ලබා දීම සඳහා විශේෂ කරුණු දැක්විය යුතුය.

මේ විශේෂ කරුණු මොනවාද යන්න නිශ්චිතව අර්ථ නිරූපණය නොවේ. 1997 අංක 70 දරන ඇප ආඥා පනතද මෙහිදී අදාළ නැත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ ආචාර්ය නලින් අබේරත්න විසින්ද අවධාරණය කර ඇති පරිදි අයි.සී.සී.පී.ආර්. පනත ක්‍රියාත්මක වීමේ ස්වභාවය අනුව රජයට හා පොලිසියට තම දේශපාලන හෝ පුද්ගලික අරමුණු අනුව පළිගැනීමේ චේතනාවෙන් මෙය භාවිත කළ හැකිය. මේ වනාහී භයානක තත්ත්වයකි.

අයි.සී.සී.පී.ආර්. පනත ක්‍රියාත්මක වීමේ ස්වභාවය අනුව බලන විට ලංකාවේ නීති පද්ධතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් පැන නඟී.

ඉන් පළමු වැන්න කිසිදු බලවේගයකට යටත් නොවන නීතියේ ආධිපත්‍යය පිළිබඳ සැක පහළ වීමයි. ශක්තික සත්කුමාර ලේඛකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ භික්ෂු කණ්ඩායමක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය. එහිදී අයි.සී.සී.පී.ආර්.පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කර ඇත. අයි.සී.සී.පී.ආර්.පනත බලාත්මක කිරීම සඳහා බලපෑවේ දීර්ඝ කාලීනව පැවති යුද්ධයක් නිසා සමාජයේ පැතිර ගිය වාර්ගික හා ආගමික හිංසන නැවත ඇති නොවීමේ වාතාවරණයක් ඇති කිරීමේ වුවමනාවය. එහෙයින් බෞද්ධ සාහිත්‍යයෙහි ඇතුළත් වන බෞද්ධයන්ගේ ගෞරවයට පත් වූ චරිත හා සිදුවීම්වලින් මාත්‍රයක් ප්‍රතිනිර්මාණය කිරීම වැනි හේතුවක් මත උක්ත පනත යටතේ චෝදනා ගොනු කළ නොහැක. එහෙයින් මේ පැමිණිල්ල බාර නොගැනීමේ හැකියාව පොලිසියට තිබිණ. බාරගැනීමෙන් පෙනෙන්නේ නීතිය අවභාවිත කර ඇති බවය. එහෙත් ප්‍රසිද්ධියේ වාර්ගික හා ආගමික හිංසනය සඳහා පෙලඹවීම් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. මේ සිදුවීම ආශ්‍රයෙන්, පවතින නීති ක්‍රමය ගැන යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.

ඉන් පළමුවැන්න පවත්නා නීති, අණ පනත් හා ආඥා නිවැරදිව අර්ථ නිරූපණය කිරීමය. දෙවැන්න, පවතින නීති අවභාවිතයට ගැනීම වැළැක්වීම සඳහා පියවර ගැනීමය. තෙවැන්න දැනට පවතින යල් පැනගිය නීති අහෝසි කර කාලීන අවශ්‍යතා අනුව නව නීති සම්පාදනය කිරීමය. දණ්ඩ නීති සංග්‍රහය යනු එක් උදාහරණයකි. මෙය බ්‍රිතාන්‍ය යුගයේ හඳුන්වා දුන් නීති පද්ධතියකි. එය බ්‍රිතාන්‍ය විසින්ද අහෝසි කරනු ලැබ ඇතත් මෙරට එය පවත්වාගෙන යන්නේ වසර 2500ක උරුමයක් පරිද්දෙනි. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් යුගයේදී එරට සමලිංගික විවාහයට අවසරය ලැබිණ. එරට වැසියන්ගෙන් පිරිසක් මීට එරෙහි විය. "සමාජයේ ජීවත්වන කොටසකගේ විවාහ වීමේ අයිතිය අහිමි කිරීම වරදක්"බව අගමැති කීවේය.

එම සම්මුතීන්ට එකඟ වූ රටක් හැටියට තවමත් දණ්ඩ නීති සංග්‍රහය සහ 1841 අයාලේ යන්නවුන් පිළිබඳ ආඥා පනත ක්‍රියාත්මක කිරීම අතින් බැලූ විට ශ්‍රී ලංකාව පසුගාමී රාජ්‍යයන් ලෙස සම්මත ඇතැම් අප්‍රිකානු රටවලටද පහළින් සිටින බව පිළිගත යුතුය.

1796දී ඉංග්‍රීසි ජාතිකයන් මුහුබඩ පළාත් අල්ලාගන්නා තෙක් රෝම ලන්දේසි නීතිය තේසවලාමේ නීතිය, උඩරට නීතිය හා මුස්ලිම් නීතිය ක්‍රියාත්මක විය. වත්මන් නීතිය නීති පද්ධති කිහිපයක සම්මිශ්‍රණයක් හෙවත් අච්චාරුවකි. එය මහජනයාට පීඩාවකි; බරකි; නීතිය එපා කරවන ක්‍රියාන්විතයකි. එය වෙනස් විය යුතුය.

මාතෘකා