අධිකරණ ක්‍රියාදාමයෙහි විනිවිද බව

අධිකරණ ක්‍රියාදාමයෙහි විනිවිද බව

නීතිය ඉදිරියේ කවුරුත් එක සමානය යන්න ගිරවුන් මෙන් පුනරුච්චාරණය කරනු ලබන්නකි. එහෙත් ඒ සමානත්වය ප්‍රායෝගිකව දැකීමට වාසනාව ලැබෙන්නේ ඉඳහිටය. එම සත්‍යය මිහිපිට සෑම ජන සමූහයකටම අතීත හා වර්තමාන කාල භේදයකින් තොරව අදාළය.

විශිෂ්ට සාහිත්‍යකරුවෝ මේ යථාර්ථය මනරම් සාහිත්‍ය පරිකල්පනයක් ඔස්සේ සනාතනික ඇත්තක් බවට පත්කරති. විශිෂ්ට ගණයේ උපහාස රචකයකු වූ නිකොලොයි ගොගොල්ගේ කෙටිකතාවක ඊරියක් උසාවියට පැන නඩු කොපිය කටින් ඩැහැ ගනී. ඔහු ලියූ ‘මළ මිනිස්සු’ නවකතාවේ ප්‍රධාන චරිතය වන චිචිකොව් මුළු රුසියානු සමාජය රවටා වංචාවෙන් දිග්විජය කර අවසන හිරේ විලංගුවේ වැටෙයි. එහෙත් ඔහු එයින් එළියට එන්නේ අදශ්‍යමාන බලයකින් නොව පගාව ගැසීමෙනි. ගොගොල්ගේ සාහිත්‍යයෙන් කියැවෙන ඇත්තටද වඩා බිහිසුණු අත්දැකීම් ලැබෙන අවස්ථා තිබේ.

ශ්‍රී ලංකාව නම් වූ මනරම් දිවයිනට වෙන මොනවා නැතත් ඒ ජාතියේ අත්දැකීම්වලින් නම් අඩුවක් නැති බව දැන් දැන් සිදු වන දේවලින් පෙනේ. ගොගොල්ගේ කතාවල දූෂකයන්ගේ ස්වභාවය ගෙනහැර දැක්වීම ඔස්සේ කැකිල්ලේ වර්ගයේ නඩුකාරයන් ගැනද කියැවේ. ගොගොල් මෙරට මෙකල ජීවත් වූවා නම් නඩුකොපිය කන ඌරන් ගැන නොලියා නඩුකාර පුටුවේ පහරන ඇතැම් නඩුකාරයන් ගැන ලියනු නිසැකය. මෑතදී ජාතිවාදයට තුඩු දෙන ප්‍රකාශ මුහුණුපොතෙහි සටහන් කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලැබීය. මෙවැනි ජාතිවාදී විෂබීජ නිලපුටුවල අසුන්ගෙන සිටිනු තවමත් දක්නට ලැබේ. මෙය ඉතා භයානක තත්වයකි. ඊට හේතුව විනිසුරා සහ චූදිතයා ජනවර්ග දෙකකට අයත් වූ විට අර විෂබීජ ක්‍රියාත්මක වීමයි.

ඇතැම් විට ජාතිවාදය සමඟ දේශපාලන පක්ෂපාතීකම්ද ගැට ගැසේ. එවිට තත්වය වඩාත් භයානකය. මෙහිදී අධිකරණ යාන්ත්‍රණය පිළිබඳ හරි අවබෝධයෙන් කටයුතු කිරීම එබඳු විනිසුරන්ගේ මානසික සෞඛ්‍යයටද හොඳය. ඊට හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න 19 වැනි සංශෝධනය අනුව පිහිටුවනු ලැබූ ව්‍යවස්ථාදායක සභාවද අධිකරණ සේවා කොමිෂන් සභාවද අධිකරණ ක්‍රියාවලිය සුපරීක්ෂාවට ලක් කිරීම ඔස්සේ ඇති වන විශ්වාසයයි. දෙවැන්න කවර බාධා පැමිණියේ වුවද නිදහස් හා ස්වාධීන අධිකරණ පද්ධතියක් ගොඩනැඟීම සඳහා තම වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරගනිමින් කටයුතු කළ කීර්තිමත් විනිසුරුවරුන්ගේ කැපවීමෙන් ගොඩනැඟුණු අධිකරණ සම්ප්‍රදායයි.

18 වැනි ව්‍යස්වථාව මඟින් විධායකයට ලැබුණු බලය අනුව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසිණ. එහෙත් 19 වැනි සංශෝධනයෙන් ඒ වරද නිවැරදි කෙරිණ. එහි ගෞරවය 2015 දේශපාලන පෙරළියට මුල් වූ නායකයන්ටද හිමි විය යුතුය. 19ට අනුව විනිසුරන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාගත යුතුය. මේ අනුව විධායකයේ බලපෑම සීමා කෙරේ.

අලි ජාවාරම්වලටද සම්බන්ධ ඇතැම් මහේස්ත්‍රාත්වරුන් සිටි අධිකරණයක් ස්වාධීන අධිකරණයක් බවට පත් කිරීමේ මාවත 19 වැනි සංශෝධනයෙන් විවර විය. මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීමේ පටිපාටිය නිවැරදිව ක්‍රියාත්මක වීම හා එහි අඩුපාඩු ඇත්නම් මීට වඩා විධිමත් ක්‍රමයක් සම්පාදනය කරගැනීමද අවශ්‍ය වේ. මහේස්ත්‍රාත්වරුන් ලෙස සේවයට එක් වීම සඳහා වසර තුනක්වත් නීතිඥයන් ලෙස කටයුතු කර තිබිය යුතුය. ලිඛිත හා වාචික පරීක්ෂණවලින් සමත් වී සම්මුඛ පරීක්ෂණයකටද මුහුණ දිය යුතුය. එහෙත් එක් අවධියක එම පටිපාටියෙන් බැහැරව බඳවාගෙන ඇති බවටද චෝදනා නැගිණ. ප්‍රභූ පුතකු වීම නිසා විශේෂ කුටියක සිට නීති විභාගයට ලිවීමේ හැකියාව ලැබුණු රටක එය අරුමයක්ද නොවේ.

අධිකරණයේ යෝග්‍යතාව, අපක්ෂපාතීත්වය හා ස්වාධීන බව පිළිබඳ සාධාරණ සැකයක් ඇති වන අවස්ථා තිබේ. රටවැසියන් අධිකරණය පිළිබඳ තබා ඇති විශ්වාසය බිඳ වැටීම කෙරෙහි එය බලපායි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරන්ගේ හා නීතිවේදීන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිනිය වූ මොනිකා පින්ටෝ 2016 දී ලංකාවේ සංචාරය කර ලබාගත් තොරතුරු අනුව සැකසූ වාර්තාවෙහිද මේ පිළිබඳ අවධාරණය කර ඇත.

19 සංශෝධනයෙන් පසුව අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රබෝධය ඇගේ ද පැසසුමට ලක් වෙයි. තමන්ට වුවමනා තීන්දු නොදීම නිසා විධායකයේ වුවමනාව අනුව පත් කළ කිසිම වෘත්තීය සුදුසුකමක් නැති මන්ත්‍රී පිරිසක් නඩු අසා පැය විසිහතරෙන් අගවිනිසුරුවරිය ගෙදර යැවූ රටක ස්වාධීන අධිකරණයක අවශ්‍යතාව ප්‍රමුඛ එකක් බවට පත් වී තිබිණ. දේශපාලන වුවමනාවන්ට අනුව නැටවෙන අධිකරණයකින් රටට සිදු වන්නේ විනාශයකි. ඒ විනාශය වළක්වා ගැනීමේ අවස්ථාව උදාවිය. දේශපාලන බලපෑම මහපුටුවලට මෙන්ම ප්‍රාදේශීය පුටුවලටද එල්ල විය හැකිය. අධිකරණ සේවා කොමිසමේ ක්‍රියාකාරීත්වය ගැන වැටහීමක් නැති මහේස්ත්‍රාත්වරුන්ද සිටීම නීති ක්ෂේත්‍රයට කැළලකි.

මාතෘකා