නොකියවන්නන්ගේ කුකුළු පොර

නොකියවන්නන්ගේ කුකුළු පොර

කියවීමෙන් හෝ අත්දැකීම්වලින් මිනිසුන් උගත යුතුය. එසේ නොවූ කල සිදුවන්නේ සමාජ ප්‍රගමණයට බලවත් විපතකි. මෙරට මාධ්‍ය අරබයාද එකී තර්කය අදාළය.

ලංකාවේ ඇති සෑම නාලිකාවක්ම වෙළෙඳ නාලිකා ලෙස හැඳින්වීමේ වරදක්‌ නොපෙනේ. වෙළෙඳ දැන්වීම මත නොයැපෙන, මහජන බදු මුදලින් හා විවිධ දානපතියන්ගේ ධන පරිත්‍යාගයන්ගෙන් නඩත්තු වන මහජන නාලිකා සේවාවක්‌ අපට නැත. පරිභෝජනවාදය හා මාධ්‍ය අතර සම්බන්ධය නිසා නාලිකා නිතර භාවිත කරන සන්නිවේදන ආකෘතිය, ප්‍රචාරණ ආකෘතියයි. මෙම ආකෘතියේදී ග්‍රාහකයා හා පාරිභෝගිකයා යනු එකම තැනැත්තෙකි. ඒ නිසා මෙම ආකෘතියේදී මුල් තැන ලැබෙන්නේ කුමන උපක්‍රමයකින් හෝ ග්‍රාහක අවධානය ලබා ගැනීමටය.

සියලු දේ වෙනස් වන ලෝකයක පිරිසුදු මාධ්‍ය සංස්කෘතියක් එලෙසෙම පවතිනු ඇතැයි සිතීම විහිළුවකටත් වඩා ඛේදවාචකයකි. එහෙත් එය සාහසික ලෙස සිදු කිරීමේ පාපකර්මයට දරුණු ලෙස දායක වීම අපරාධයකි.

මෙකල බොහෝ නාලිකාවල අටෝරාසියක් සංවාද සහ සාකච්ඡා වැඩසටහන් දකින්නට, අසන්නට ලැබේ. ඒවායෙහි පවත්නා අන්තර්ගතය පිළිබඳවද බොහෝ විවේචන පවතී. සාමාන්‍යයෙන් දේශපාලන සංවාද හුදෙක් කුණු රස අවුස්සන, කිසිම හරයක් නැති කුකුළු පොර බවට පත්ව තිබේ. බොහෝ නාලිකා ස්වකීය වැඩසටහන් ආකෘතිය සකසන්නේද එකී කුකුළු පොරයට රුකුල් දෙන පරිදිය.

එහි ප්‍රතිඵල සමාජයට බෙහෙවින්ම පසුගාමී ලෙස බලපා තිබේ.

අදාළ වැඩසටහනට සම්බන්ධවන සම්පත්දායකයාට, ආරාධිතයාට වත්මන් වැඩසටහන් කලාව තුළ කරන්නට තිබෙන්නේ වැඩසටහන් ඉදිරිපත් කරන්නාගේ හෝ සන්නිවේදකයාගේ ග්‍රහණයට හසුවන්නටය. බොහෝ විට ප්‍රශ්න කරන්නන් කිහිපදෙනකු ඉදිරියේ ආරාධිතයා බරපතළ අපහසුතාවකට පත් වේ. නිෂ්පාදක කණ්ඩායම 'අවුස්සන' තරමට තිගැස්සෙන ප්‍රශ්න කරන්නන් ආරාධිතයාව 'ප්ලැට්' කිරීමේ ව්‍යාපෘතිය සිදු කරයි. බොහෝ විට අසනු ලබන ප්‍රශ්නවල හරයක් නැත. ඇතැම් විට කිසිදු ගැළපීමක් නැත.

ප්‍රේක්ෂකයාට ගලා යන්නේ ආරාධිතයා 'පරාජිතයාය' යන හැඟීම සහ ඉදිරිපත් කරන්නන් ‘වීරයෝය’ යන හැඟීමය.

බොහෝ නාලිකා කල්පනා කරනුයේ තමන් විසින් රජයට මුදල් ගෙවා සංඛ්‍යාත ලබා ගත් බවත් එලෙස මිලට ගත් සංඛ්‍යාත උපයෝගී කරගෙන ඕනෑම 'තක්කඩි' වැඩසටහනක් කළ හැකි බවත්ය. අසීමිත නිදහස සීමා මායිම් නැතිව භුක්ති විඳිමින් එවැනි අය කරනු ලබන සමාජ ඛේදවාචකය දශක ගණනාවකට ආපිට හැරවිය නොහැකිය.

රටක සංඛ්‍යාත පරාසය සීමිතය. එසේම එය පොදු දේපළක් වන අතර ඒ සංඛ්‍යාත පුද්ගලයන්ට හෝ සමාගම්වලට අයිති නැත. රජය යනු මේ පොදු දේපළෙහි භාරකරුවාය. භාරකරුවා ලෙස රජය කළ යුත්තේ සංඛ්‍යාත කුලියට හෝ බද්දට දීම මිස කිසිවකුට ඒවා සින්නක්කරයට දීම නොවේ.

එහෙත් බොහෝ නාලිකා මේ සත්‍යය අමතක කොට තිබේ.

සමහරු පවසන පරිදි කිසිදු සුදුසුකමකින් තොරව කළ හැකි රැකියා දෙකක් මෙරට තිබේ. එකක් දේශපාලනයයි. අනෙක මාධ්‍යකරණයයි .

බොහෝ දෙනා රැකියා තෝරා ගන්නේ ස්වකීය කැමැත්තට හෝ සුදුසුකමට නොවේ. පොතක් කියවන්නට අකමැති අය ගුරු වෘත්තිය තෝරා ගනිති. ඔවුහු ‘ගුරුගීතය, හරි පුදුම ඉස්කෝලේ, දයාබර ගුරුතුමිය වෙතටයි’වත් කියවා නැත.

පොතක් තබා පත්තරයක්වත් නොකියවන අය මාධ්‍යවේදීහු වෙති. ගුවන්විදුලි හෝ රූපවාහිනී සන්නිවේදකයකු නම් අඩුම තරමේ ජෝන් රීඩ් හෝ රොබට් මැක්ලීෂ්වත් කියවා තිබිය යුතුය. අවාසනාවකට එහෙම නැත.

බොහෝ දෙනා ඔප්පු කරමින් සිටින්නේ සම්මුඛ සාකච්ඡාවක් නොකරන්නේ කෙසේද කියන එකට උදාහරණ සැපයීමය.

මාතෘකා