පිරිසිදු ලොවක්

පිරිසිදු ලොවක්

රටේ තැනින් තැන මේ දිනවල පැසසුම් කටයුතු දෙයක් සිදුවෙමින් තිබේ. ඒ කුණුකසළ ඉවත්කොට පරිසරය පිරිසිදු කිරීමේ කටයුත්තය. එහි එක් අවස්ථාවක් ලෙස තරුණ කණ්ඩායමක් පසුගියදා මහනුවර නගරය පිරිසිදු කළහ.

රටක සංවර්ධනයේ එක් කඩඉමක් ලෙස පිරිසිදු පරිසරය සැලකිය හැකිය. ලොව සංවර්ධිත යැයි සැලකෙන සියලු රටවල් වඩාත් රමණීය පරිසරයකින් යුක්තය. ගුවන්තොටුපොළින් රටට ඇතුළුවන සංචාරකයා රට ගැන තක්සේරුවකට එනුයේ පරිසරය දෙස බලාය. දුර්ගන්ධය හමන කැළිකසළ පිරි පරිසරයක සංචරණයේ යෙදෙන්නට කිසිවකු කැමැති නැත.

සැනසුම්සහගත පරිසරයක ජීවිතය ගෙවීමට ලැබීම වාසනාවකි.

සොබාදහම යනු ජීව අජීව පරිසර පද්ධති හා ඒ ආශ්‍රිත ස්වභාවික ක්‍රියාවලීන්ගේ ඒකාබද්ධතාවෙන් ගොඩනැඟුණු නිමැවුමකි. එය විස්මයජනකය; සොඳුරුය; ආස්වාදජනකය. විවිධත්වය, එකට විසීම, සහජීවනය, අන්තර් බද්ධතාව, දාමයක් සේ අනුගතව පැවතීම ‍සොබාදහමේ සොබාවයය. සකල ජීව කොටස්වල මෙන්ම මනුෂ්‍ය පැවැත්මේ පදනම සොබාදහමයි. සොබාදහම සුරැකීම අනේකවිධ පරිසර පද්ධති මෙන්ම මනුෂ්‍ය පැවැත්මද සහතික කරවන්නකි.

මානව සංහතියේ බරපතළ උවදුරට ලක්ව මරණීය තුවාල ලැබූ දෙයක් වෙත් නම් ඒ වනාහී පරිසරයයි.

මිනිසාගේ ආත්මාර්ථකාමී ජීවන පැවැත්ම විසින් සමස්ත පරිසරය සසල කොට දමා තිබේ.

ලොව පුරා ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය තිබෙන්නේ 0.05%කි. පරිසර පද්ධති විනාශ කිරීම, ජල දූෂණය හේතුකොටගෙන පිරිසිදු පානීය ජලය සැපයීම ‍ගෝලීය, පාරිසරික හා සමාජීය ගැටලුවක් බවට පත්ව තිබේ. පානීය ජල හිඟයෙන් ලොවපුරා බිලියන 2.9ක ජනතාවක් පීඩා විඳිති. පුද්ගලයකු සාමාන්‍යයෙන් දිනකට ජලය ගැලුම් 40 – 60ක් පමණ භාවිත කරන අතර එය අනාගතයේදී සපුරාගැනීම බරපතළ අභියෝගයකි.

ලංකාවේ නාගරික ජනගහනයෙන් 35%ක්ද, ග්‍රාමීය ජනගහනයෙන් 22%ක්ද ජලය අපතේ හරිති. 2014 වර්ෂය වන විට ලංකාවේ ඒකපුද්ගල ප්ලාස්ටික් භාවිතය කිලෝ ග්‍රෑම් පහක් විය. එය දැන් ඊටත් වඩා වැඩිය.

ගෝලීය ඝන අපද්‍රව්‍ය උත්පාදනය දළ වශයෙන් ටොන් බිලියන 1.3කි. 2025 වන විට එය ටොන් බිලියන 2.2කින් වැඩිවේ යැයි අපේක්ෂා කෙරේ.

සෑම දිනකම දළ වශයෙන් කසළ ටොන් බිලියන 2.8ක් පමණ ගංගා, ඇළදොල හා ජලාශවලට හෙළයි. දත්තවලට අනුව වසරකට වනාන්තර අක්කර මිලියන 18ක ප්‍රමාණයක් ලොවට අහිමි වේ. එනම් ලෝකය පුරා වාර්ෂිකව හෙක්ටයාර් මිලියන 7.3ක ප්‍රමාණයක් වනාන්තර විනාශ කෙරේ.

2030 වන විට ලෝක ශක්ති අවශ්‍යතාව සැපිරීම අභියෝගයක් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව වාර්ෂිකව ලොව පුරා 3,000,000ක් පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් මිය යති. ශ්වසන ආබාධ, ඇදුම, පෙනහළු රෝග, අඩු බර දරු උපත් ඇති වීම මෙන්ම පෙනහළු පිළිකාද මේ වන විට වසංගතයක් බවට පත්ව තිබේ.

1980දී ජාතික පාරිසරික පනත මේ රට විසින් සම්මත කළ අතර 1981දී මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීමත් 1982දී ජාතික සංරක්ෂණ උපාය මාර්ග සැලැසුම් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීමත් සිදු කොට තිබේ.

එහෙත් ගැටලුවල කෙළවරක් නැත.

මෙවැනි බරපතළ අර්බුදයක් තුළ අපට හෙට දවසට මුහුණ දෙන්නට සිදුව තිබේ. වාසනාවට පරිසරය ගැන හිතන මිනිස්සු අතලොස්සක් සිටිති. අවාසනාවට පරිසරය නසන මිනිස්සු ඊට වඩා වෙති.

මාතෘකා