නපුර සහ යහපත

නපුර සහ යහපත

අබිං කෑම ලංකාවට හඳුන්වා දුන්නේ පෘතුගීසීන් යැයිද, ඉංග්‍රීසි පාලනයේදී අබිං වගාව සංවර්ධනයට ගොවීන් දිරිමත් කරමින් අනුබල දුන්නේ යැයිද ඉතිහාස සටහන් තිබේ. රජ දවස මදුපානෝත්සව ගැන කතාද ඒ අතර වෙයි.

ශ්‍රී ලංකාවට නාමික නිදහස ලබා දී තිබූ නමුත් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1955 වන තෙක්ම උත්සාහ නොගෙන තිබිණි.

මෙරට හෙරොයින්වලට ඇබ්බැහි වූ 50,000කට අධික ප්‍රමාණයක් සිටින බව පර්යේෂණ මඟින් හෙළි වී ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 18-30ත් අතර වයස් කාණ්ඩයට අයත්ය.

වෙනත් මත්ද්‍රව්‍ය වෙත යොමු වූ පිරිස්ද අති විශාලය. මෙරට පාසල් පද්ධතියට දැඩි බලපෑමක් කරන්නට මත් උවදුරට හැකිව තිබේ.

තත්ත්වය දරුණුය...!

දරුවන් සඳහා උචිත නවීන මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් නව වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම ජාවාරම්කරුවන්ගේ අරමුණ වී ඇත.

හිතුවක්කාර දේවල් අත්හදා බැලීමේ කැමැත්ත හා විභාගකේන්ද්‍රීය අධ්‍යාපනයෙන් එල්ල වන පීඩනය දරුවන් මත්ද්‍රව්‍යවලට ඇදී යෑම කෙරෙහි බලපා තිබේ. මෙහිදී වැඩිහිටියන්ට ඇත්තේ නොපටු වගකීමකි.

පොලිසිය, දේශපාලන හා ආගමික සංස්ථාවල ක්‍රියාකාරිත්වයද තීරණාත්මකය. ඇතැම් පොලිස් නිලධාරීන් හා ඇතැම් දේශපාලකයන්ගේ අනුග්‍රහය ජාවාරම්කරුවන්ට ලැබේ. කළු සල්ලි සුදු කිරීමේ තිප්පොළවල් හැටියට කටයුතු කරන ඇතැම් මාධ්‍ය ආයතන හා ආගමික ස්ථාන සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇති සම්බන්ධය කුප්‍රකට රහසකි.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමේ මෙහෙයුම සාර්ථකව ඉටු කළ පොලිස් පරීක්ෂකවරයකු වූ ඩග්ලස් නිමල් මරා දැමීම සඳහා කොළඹ හිටපු පොලිස් ලොක්කෙක් කුඩු ජාවාරම්කරුවකුට සහාය දුන්නේය. ඒ නිලධාරියා කිසිදු උපද්‍රවයකින් තොරව වත්මනෙහි පොෟද්ගලික ආරක්ෂක සේවයක් පවත්වා ගෙන යයි.

ඝාතනය සිදු වී වසර 15ක් ගතවී ඇතත් පොලිසිය කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත.

පසුගිය රජය කුඩු ජාවාරමට සම්බන්ධ දේශපාලකයකුට ආරක්ෂක අධීක්ෂණ පදවියක්ද ලබා දුන්නේය. කවුරු බලයට පැමිණියත් මත් උවදුර මැඬලීම දුෂ්කර වී තිබේ. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ අතරමැදි කලාපයකය.

එහිදී අභ්‍යන්තර හා බාහිර සාධක දෙකම පාලනය කිරීම සංකීර්ණ කටයුත්තකි. රට මුහුණ දෙන බරපතළ ගැටලුවක් බවට මත්ද්‍රව්‍ය පත්වෙමින් තිබීම සැලකිල්ලට ගත යුතුය.

‘මතින් තොර රටක්‘ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඒ අතරය. ඊට සමගාමීව මත් උවදුරක් ගැන තොරතුරක් වෙතොත් අමතන්නට ගාස්තු රහිත විසිහතර පැයේ අංකයක් ඇත. එය 1984 ය. පාසල, නිවස දක්වාම සිය ආක්‍රමණය දැඩි කළ මත් උවදුරට එරෙහිව පෙරට ඒම රටක් ලෙස පුරුදු කළ යුතු තත්ත්වයක් බව කිව යුතුමය.

මාතෘකා