ව්‍ය‍වස්ථා ගිනි අවුළුවන අවස්ථාවාදියෝ

ව්‍ය‍වස්ථා ගිනි අවුළුවන අවස්ථාවාදියෝ

ලන්ඩන් නුවර දෙමළ ඩයස්පෝරාවට සරිලන තරමේ සිංහල ඩයස්පෝරාවක්ද සිටී. ඩයස්පෝරාව යන වචනය ඇසෙන විටම දෙමළ ජන කණ්ඩායම් සිහියට ගන්නා පිරිස් කලබල විය යුතු නැත. සිංහල ඩයස්පෝරාව වීදි බැස ඇත්තේ බුදු දහමට තැන නැති කරන, රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිවය.

නිවාඩුවකට ලංකාවට හදිසියේ පැමිණි විටෙකවත් තම දරුවන් වෙල් ඉපනැල්ලක් පාගනු දැකීමට අකමැති මොවුන් තම ජාත්‍යාලය පෙන්වන්නේ ඉඳහිට අහුලා ගන්නා බොරු සටන් පාඨයකිනි. ඒ ඔවුන්ගේ හැටිය.

ලන්ඩන් රත්වීමට සාපේක්ෂව ජාතික නිදහස් පෙරමුණේ නායකයාද රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව සම්මන්ත්‍රණවල බෙරිහන් දීම ආරම්භ කර තිබේ. මේ කංකරච්චල සෑහෙන කලක පටන් අසන්නට දකින්නට ලැබෙන හෙයින් ඒවා සාමාන්‍යකරණය වීමේ ස්වභාවයක්ද පවතී. වැස්ස හා ඉඩෝරය මෙනි.

ජනතා විමුක්ති පෙරමුණ යනු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි න්‍යායපත්‍ර පිළිබඳ දැඩි විවේචනාත්මක ස්ථාවරයක පසුවන පක්ෂයකි. එම පක්ෂය ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ කිසිම ව්‍යවස්ථා කෙටුම්පතක් තවම සකස් කර නැති බවය. එය පිළිගත හැකි සත්‍යයකි. මන්ද යත් එවැනි ලියැවිල්ලක් සකස් කර තිබුණා නම් එහි හොඳ නරක පිළිබඳ මුලින්ම කරුණු දක්වන පක්ෂය එය වන බැවිනි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බව නම් ඉතා පැහැදිලිය. පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙහි සාමාජිකයන් ලෙස කටයුතු කරන හෙයින් ලක් ඉතිහාසයේ පළමු වැනි වරට මහජනයාට වගකියන ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ඉඩකඩක් විවරව පවතී. මහජන නියෝජිතයන් පත්ව ඇත්තේ මහජන ඡන්දයෙනි.

ව්‍යවස්ථාවට ඇතුළත් විෂයයන් සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි අනු කමිටු පත් කර ඇත. එමෙන්ම මහජන අදහස් කමිටුව ඉදිරිපත් කළ අදහස්ද සැලකිල්ලට ගෙන තිබේ. ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ප්‍රධාන භූමිකාවක් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට තිබූ පමණින් ව්‍යවස්ථා සම්පාදනයේ පටිපාටියට පිටින් කටයුතු කිරීමේ හැකියාවක් ඔහුටද නැත.

මෙහිදී අවාසනාවට කරුණ වී ඇත්තේ ව්‍යවස්ථා සම්පාදනයේ කොටස්කරුවන් වී සිටින දේශපාලන නායකයන්ම තමන් දන්නා සත්‍යය සඟවමින් දේශපාලන වාසිය තකා බේගල් ඇද බෑමය. රට පුරා භීතියක් ඇති කිරීමය. මෙය දේශපාලන පක්ෂ නියෝජනය කරන පුද්ගලයන්ගේ ශිෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්නයකි. තම අවස්ථාවාදී අරමුණු වෙනුවෙන් හෘද සාක්ෂිය පාවා දීම ඔවුන්ට එතරම් ගැටලුවක් නොවේ. එහෙත් ඔවුන්ට හෘද සාක්ෂියක් තිබේද යන්න සැබෑ තතු දන්නා අයට නම් ගැටලුවකි.

මෙය දිගු ඉතිහාසයක් ඇති ප්‍රශ්නයකි. බලතල බෙදීම, පෙඩරල් හා සන්ධීය ව්‍යවස්ථා, නිරාගමික ව්‍යවස්ථා යනාදී වචන සමඟ එල්ලෙමින් ජන සිත්හි භීතියක් නිර්මාණය කර දේශප්‍රේමයේ ගින්දර මතින් බලය ඩැහැ ගැනීම මොවුන්ගේ අභිලාෂයයි.

1956 දී පෙඩරල් ක්‍රමයේ උචිත බව කතා කළ බණ්ඩාරනායක මහතා දේශප්‍රේමීන්ගේ අවස්ථාවාදයට යට වූ තැන් පටන් සිදු වූ වරද්දා ගැනීම 2019 දක්වා දිගු විය. එනිසා තවමත් විවිධාකාරයේ හොල්මන්කාරයෝ රට බෙදීමේ හොල්මන් මවති. අවසානයේදී මේ රට හොල්මන් මන්දිරයක් බවට පත් කර ඇත.

ඉතිහාසයෙහි කිසිම අවධියක තනි රජකුගේ තනි බලයක් පමණක් තිබී නැත. ප්‍රාදේශීය රජවරුන්ගේ පාලනය වත්මන් පළාත්පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය සමඟ සැසඳිය හැක.13 වැනි ව්‍යවස්ථාවෙන් බලතල බෙදීම දරුණු ලේ හැලීමක් දක්වා දුර දිග ගියත් ඊට එරෙහි වූ පාර්ශ්වද අද පළාත්පාලනයේ සක්‍රිය හවුල්කරුවන්ව සිටිති. එමෙන්ම 13+ බල ප්‍රදානයක් ගැන කී රෙජීමයටද තමන් කී දේ මතක නැත.

පළාත් සභා නියෝජිතයන්ගේ අදහසද වන්නේ බලතල බෙදීම මීට වඩා විධිමත් විය යුතු බව හා ලබා දුන් බලය ආපසු පවරා නොගත යුතු බවය.

බලතල බෙදීම දැනටමත් කර ඇති දෙයකි. කිසිදු දේශපාලන පක්ෂයකට එය ප්‍රතික්ෂේප කළ නොහැක.

එනිසා තමන් දැන් යහතින් ජීවත් වන්නේ බලතල බෙදූ රටක බව ලන්ඩන් සිංහලයන් ද පළමුව තේරුම්ගත යුතුය.

යෝජිත ව්‍යවස්ථාවට තමන් විරුද්ධ නම් එය රට බෙදන්නක් නම් ඒ චෝදනාවෙන් තමන්ටද ගැලවිය නොහැකි බව ආණ්ඩුවට චෝදනා කරන දේශපාලන පක්ෂ තේරුම්ගත යුතුය.

2019 මැතිවරණ වසරකි. බංකොලොත් දේශපාලන පක්ෂ විසින් කරමින් සිටිනු ලබන්නේ තැටිය රත්වූ වෙලාවේ රොටිය නොපිච්චීමේ වාසිය ගනිමින් රට, ජාතිය හා ආගම පිච්චීමය. මෙය උගුලක් බව මහජනයා තේරුම්ගත යුතුය.

මාතෘකා