‘සුරක්ෂා’ ජාතික ප්‍රතිපත්තියක්

‘සුරක්ෂා’ ජාතික ප්‍රතිපත්තියක්

යහපාලන ආණ්ඩුව යටතේ පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ට වැඩසටහනක් ලෙස සුරක්ෂා සිසු රක්ෂණාවරණය කාගේත් ඇගයුමට ලක් වෙයි. ඊට හේතුව මෙයින් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම නියෝජනය වීමය. පක්ෂ හා පාට භේද ක්‍රියාත්මක වන්නේ වැඩිහිටියන් අතරය. දරුවන්ගේ ලෝකයට ඒ විෂබීජ අදාළ වන්නේ නැත."සුරක්ෂා"යනු ඉමහත් බලාපොරොත්තු ඇති කළ වැඩසටහනකි.

ඔක්. 26 දේශපාලන ‍පෙරළියෙන් පසු ගතවූ දෙමාසයකට ආසන්න කාලය රටේ ආර්ථිකයට බලපෑ අයුරින්ම දරුවන්ගේ ජීවිතවලටද බලපෑවේය. මේ නිසා පෙළපොත් ලබා දීම මෙන්ම නිල ඇඳුම් ලබා දීමද අඩාළ විය. අධිකරණ තීන්දුව අනුව කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීමෙන් පසුව අර්බුද විසඳෙමින් පවතී. සුරක්ෂා රක්ෂණාවරණය අපේක්ෂාවෙන් සිටි ඇතැම් දරුවන්ට එය නොලැබී යෑම දේශපාලන අර්බුද සමයෙහි සිදුවූ නිහඬ අපරාධයකි. එහි වගකීම අපරාධයට හවුල් වූ සියලු නායකයන් සහ ඔවුන්ගේ පව් සේදූ මාධ්‍ය ඇතුළු සියලු පාර්ශ්ව බාරගත යුතුය.

සුරක්ෂා රක්ෂණාවරණය ක්‍රමවත්ව හා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මහත් උත්සාහයක් ගත්තේය. එය ක්‍රියාත්මක වූයේ 2017 ඔක්තෝබර් පටන් ය.

සියලු වර්ගයේ පාසල්වල සිසුන් නියෝජනය වන පරිදි එය ක්‍රියාත්මක විය. ඒ අනුව, රජයේ පාසල්, රජයේ අනුමත ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්, උපකෘත විභාෂා පාසල්, ජාත්‍යන්තර පාසල් හා පිරිවෙන් යන සියලු අධ්‍යාපන ආයතනවල සිසුන්ට රක්ෂණාවරණය හිමි වේ.

අනතුරු සහ හදිසි මරණවලදී රක්ෂණාවරණය ක්‍රියාත්මක වේ. මෙම රක්ෂණය අනුව නේවාසික ප්‍රතිකාර සඳහා

රු. ලක්ෂ දෙක දක්වාද, බාහිර ප්‍රතිකාර සඳහා රු.10,000 දක්වාද සිසු මරණයක් සඳහා රු. ලක්ෂය දක්වාද මව හෝ පියාගේ මරණය සඳහා රු.75,000 දක්වාද රක්ෂණාවරණයක් ලැබේ.

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වීමෙන් පසුව මුළු ශිෂ්‍ය පරපුරම අනාවරණය වන ලෙස ක්‍රියාත්මක වූ වැදගත්ම වැඩසටහන ලෙස මෙය හැඳින්වීම යුක්ති යුක්තය. එහෙයින් එවැන්නක් අඩාළ කිරීම ජාතික අපරාධයකි.

එහෙත් රට ජාතිය හා ආගම "විජාතික හතුරන්ගෙන්ද දේශද්‍රෝහීන්ගෙන්ද බේරා ගැනීම" සඳහා උදේ හවා ගිනි පිඹින නායකයන් අතින්ම මෙබඳු අපරාධයක් සිදු වීම සුළු කොට සැලකිය යුත්තක් නොවේ. ඔවුන්ගේ දූෂිත හදවත්වලට දරුවන්ගේ හදවත්වල සිහිල හා මුදු බව නොදැනේ. සංක්‍රාන්ති සමයෙහි සිදුවූ වැරදි නිවැරදි කිරීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමු වෙමින් පැවතීම සතුටට කරුණකි.

දේශපාලනික වියවුල ක්‍රියාත්මක වූ සමයෙහි පිළිගත හැකි හේතු මත රක්ෂණාවරණය අයදුම් කළ අයට සහනයක් නොලැබිණ. ඒ නිසා පළමුව කළ යුත්තේ ඒ ගැන සොයා බලා විසඳුම් කඩිනම් කිරීමය. රටට ගැළපෙන යහපත් අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් කැපවී සිටින අධ්‍යාපන ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රායෝගික තීන්දුවක් ගනු ඇතැයි විශ්වාස කළ හැකිය.

එමෙන්ම කුමන දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් මෙරට පාලනය බාර ගත්තද, සුරක්ෂා වැනි ධනාත්මක වැඩසටහන් ආපසු හැරවිය නොහැකි ලෙස, අධ්‍යාපන සහ ජාතික සෞඛ්‍ය ජාතික ප්‍රතිපත්තියක් තුළට සුරක්ෂා ගොනු කළ යුතුය. මිලියන හතරකට අධික මෙරට ශිෂ්‍ය ප්‍රජාව, අනාගත ශ්‍රී ලංකාවයි. ඒ වෙනුවෙන් අනේකවිධ කැප කිරීම් කරන මවුපියන්, භාරකරුවෝ ඒ අනාගතයේ නිර්මාණකරුවෝ වෙති. මේ දෙපිරිස රැක ගැනීම ජනතාවාදී ඕනෑම පාලනයක ප්‍රමුඛතාව විය යුතු බව අවිවාදිතය.

මාතෘකා