රෝද තුනට නියාමනය

රෝද තුනට නියාමනය

ලංකාවට ත්‍රීරෝද රථ හඳුන්වා දී වසර හතළිහකි. විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ ඉන්දියාවේ නිෂ්පාදිත මේ රෝද තුනේ රථය අප රටට සම්ප්‍රාප්ත වූයේ 1978 වසරේය. අද මේ රටේ ලියාපදිංචි ත්‍රී රෝද රථ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ පනස් දහසකි. එය ආසන්න වශයෙන් රටේ ජනගහනයෙන් දහනව දෙනකුට එකක් වශයෙනි. ත්‍රීරෝද රථ හරහා ජීවිකාව සලසා ගන්නා පිරිසෙන් අති බහුතරය තරුණ ප්‍රජාවය. නිදහස, පහසුව වැනි සියල්ල සලකා බලා බොහෝ තරුණයෝ මේ වෘත්තිය තෝරා ගනී. අනුමාන වශයෙන් ගත් කල එක් ත්‍රීරෝද රථයකින් අඩුම තරමේ ජීවිත පහක්වත් ජීවිකාව සලසා ගනී. ඒ අනුව ලක්ෂ ගණනක ජීවිකාව ත්‍රීරෝද වටා ගෙතී පවතී.

රියැදුරන්, කාර්මික ශිල්පීන්, පින්තාරුකරුවන්, සේවා සපයන්නන් ආදී වශයෙන් ගත් කළ එය ඉතා ඉහළ අගයක් ගනී. ඒ අනුව පිටතට හරිහැටි නොපෙනෙන එහෙත් මහපො‍ෙළාව සමඟ බෙහෙවින් බද්ධව ත්‍රීරෝද රථ ව්‍යාපාරය රට පුරා ව්‍යාප්තව පවතී.

මෙහි සංවිධානාත්මක බව කෙතරම්ද යත්, සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ හා රියැදුරන්ගේ සංගමය, ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රීරෝද රථ සංගමය ආදී වශයෙන් අද ත්‍රීරෝද රථ සංගම් කීපයක් රට තුළ පවතී.

ත්‍රීවීල් කර්මාන්තය විධිමත් හා ක්‍රමවත් කළ යුතු බවට අදහස්, යෝජනා ඉදිරිපත් වන්නේ දශක ගණනකට පෙර සිටය. වරක් රජය ත්‍රීරෝද රථවල ගමන් කළ යුතු ප්‍රමාණය ගැන නීතියක් හඳුන්වා දෙනු ලැබීය. ත්‍රීරෝද රථ ගාලක සේවා සපයන රථ ප්‍රමාණය සහ ඒවා අදාළ ප්‍රාදේශීය හෝ නගර සභාවේ ලියාපදිංචි කිරීමට කටයුතු යොදනු ලැබීය. රථ රියැදුරන් මගී ප්‍රවාහනයේ නියැළීම සඳහා අවම වයස් සීමාව අවුරුදු 35ක් බවට පත් කිරීමටද යෝජනාවක් ගෙන එනු ලැබීය. ත්‍රීවිලයට මීටරය සවිකිරීම හා මගියා ඉල්ලා සිටින විට බිල්පතක් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව කථිකාවතක් ගෙන එනු ලැබීය.

රටේ අනාගතය රැඳි දෑත් ත්‍රීරෝද රථයකට සීමා වීම ගැන වෙනම කතා කළ යුතුය.

එහෙත් මේ මොහොතේ අප කැමති වේවා, නොවේවා ඔවුන්ගේ රැකියාව ත්‍රීරෝද රථය මත රැඳී පවතී.

රටේ තීරණාත්මක කාරණාවලදී ත්‍රීරෝද රථ රියැදුරන් තනිව සහ සාමූහිකව මැදිහත් වූ අවස්ථා එමට තිබේ. ඒ යහකාරණය සේම එහි වැරදි පැත්තක්ද තිබේ. මහා මාර්ග තදබදය, රිය අනතුරු, රියැදුරන්ගේ විනය හා අපරාධවලට කෙළින්ම සම්බන්ධ වීම ගැනත් ත්‍රිරෝද රථවලට චෝදනා එල්ල වී තිබෙන අතර රිය අනතුරුවලට ගොදුරු වන ප්‍රධාන වාහන දෙක බවට පත්ව ඇත්තේ යතුරුපැදිය හා ත්‍රිරෝද රථයය. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගන්නා විට පෙනී යන්නේ ත්‍රීරෝද රථ ධාවනය සම්බන්ධයෙන් නියාමනයක් පැවතීම වැදගත් වන බවය.

සාමාන්‍යයෙන් අපේ රටේ යමක් අලුතින් සිදුකරන විට බොහෝ දෙනා දකිනුයේ එහි යහපත් අරමුණට වඩා අංශුමාත්‍රයක අඩුලුහුඬුකමය. 'පොල් පරාල වෙනුවට පොල් කෙඳි' ගැන විමසන රටක එය අරුමයක් නොවේ.

ත්‍රීරෝද රථ නියාමනය සඳහා වෙනමම අධිකාරියක් පිහිටුවන බව රජය පවසන්නේ ඒ අතරය. එය වඩාත් ඵලදායක ලෙස යොදා ගැනීම කාගේත් වගකීමකි.

මාතෘකා