පාරම්පරික දැනුම, නවීන දැනුම හා සාමූහික ශක්තිය

පාරම්පරික දැනුම, නවීන දැනුම හා සාමූහික ශක්තිය

මුළු රටටම බලපාන අභියෝගවලට මුහුණ දීම ඇතැම් විට ජාතික එක්සත්කම ඇතිකර ගැනීමේ ප්‍රවේශයක් බවටද පත්වෙයි. සුනාමි ව්‍යසනයේදී එබඳු අනගි අවස්ථාවක් මඟ හැරී ගියේ ජාතිවාදය නිසාය. එහෙත් විපත කා හටත් බලපෑවේය.

සේනා දළඹුවාගේ ආක්‍රමණයද ජාතික ව්‍යසනයක් දක්වා වර්ධනය වන ලකුණු පෙනේ. මෙය බඩඉරිඟු වගාවට සීමා නොවී සෙසු වගාවන්ටද ව්‍යාප්ත වන ලකුණු ඇත. එය භයානක තත්ත්වයකි.

මෙබඳු ව්‍යසනයකදී පළමුව කළ යුත්තේ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතුන්ගේ කමිටුවක් පත් කර සැලසුමක් සකස් කිරීමය. මේ විද්වතුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් කෘෂි රසායන සමාගම්වලට කඹුරන මොළකාරයන් වී ඇති නිසා ඔවුන්ගෙන් නම් සෙතක් බලාපොරොත්තු විය නොහැක.

කියුබාවට ආර්ථික සම්බාධක පැමිණි මොහොතේ ඇතිවූ කෘෂි රසායන හිඟයට විකල්ප සෙවීම සඳහා පිදෙල් කස්ත්‍රෝ පත්කළ බුද්ධිමතුන්ගේ කමිටුව අපටද ආදර්ශයකි. අපේ රටේ කෘෂි උපදේශන සේවය අහිමි වීමේ විපාක දැන් පෙනේ.

එවැනි කමිටුවක් මඟින් සැලසුමක් සකස් කළත් නැතත් ගොවීන් හැටියට තමන්ට අහිමිවෙමින් පවතින පාරම්පරික දැනුමෙන් සහ සාමූහික ශක්තියෙන් ප්‍රයෝජන ගත හැකි අවස්ථාවක් පැමිණ තිබේ. මේ ඒ සඳහා ඉඟි කිරීමකි.

ඔබේ ගොවිබිම පිහිටි ගම්මානයේ වයෝවෘද්ධ ගැමියන් ඇතුළුව ගම්මුන් රැස් වීම මුල් පියවරයි.

සහභාගිත්ව ගැමි ප්‍රවේශය [P. R.A.] ක්‍රමය අනුව වගාවට හානි කරන කෘමීන් හා පණුවන් වර්ගීකරණය කිරීම ඊළඟ පියවරයි.

එම ක්‍රමය අනුව යමින් මෙතෙක් ගම්මුන් සතුව ඇති කෘමි හා පණු මර්දන ක්‍රම වර්ගීකරණය කළ යුතුය.

මේ අනුව වඩා සාර්ථක ක්‍රමය තෝරාගත හැකිය. මෙහිදී දුම්කොළ නැටි පෙඟවු සබන් දියර, කොහොඹ තෙල්, දළුක් කිරි සහ අළු යනාදී ආදේශක ගණනාවක් ඉදිරිපත් විය හැක.

මර්දනය සඳහා තෝරාගත් වඩාත් සුදුසු ද්‍රාවණය සාන්ද්‍රතාව අඩු වැඩි කර අත්හදා බැලීමෙන් සුදුසු පරිදි සකස් කර ගත හැක.

දැනට තර්ජනයක්ව ඇති දළඹුවන් සාම්පලයක් ගෙන ඒවා වෙන වෙනම දළඹුවාට තැවරීම, මඳක් ආසන්නයේ තැබීම හා පත්‍රයේ තැවරීම යනාදී අත්හදා බැලීම් කිහිපයක් කිරීම සුදුසුය.

කුඩා ගෙවත්තක් නම් ද්‍රාවණය තනිව යෙදීම පහසුය. මහා පරිමාණ වගාවක් නම් එකවර පැළ අතර පේළියට සිට යෙදීම සඳහා ගොවීන් සාමූහිකව සහයෝගයෙන් කටයුතු කළ යුතුය. ස්ප්‍රේ යන්ත්‍ර භාවිත කිරීම වඩා සුදුසුය. මින් මතුවට කාබනික වගාව සහ ඒකාබද්ධ ජෛව පාලන ක්‍රම අනුව වගා කිරීමේ පාඩම උගත යුතුය.

බඩඉරිඟු යනු එකල මිශ්‍ර වගාවට යොදාගත් බෝගයකි. මෙකල ඒකල වගාවකි. එනිසා ගොවිතැනෙහි වෙනසක් කළ යුතුව තිබේ. අතරින්පතර බිමි තීරුවල වෙනත් වගාවන් මෙන්ම වල් පැළ වැඩෙන බඩවැටි ඉදිකළ යුතුය.

එහිදී සිදුවන්නේ දළඹුවන් ආහාරයට ගන්නා කෘමි හා වෙනත් සතුන් වර්ග බෝවීමය. සොබාදහමේ නියාමනය තරම් බලගතු නියාමනයක් තවත් නොමැත. මුළු යායක්ම තෙත් වන සේ අධි සැර කෘෂි රසායන යෙදීමෙන් තාවකාලිකව දළඹුවා පරාජය කළ හැකිය. එහෙත් එයින් පසට හා සිරුරට විය හැකි හානිය සුළුපටු නොවේ.

බහුජාතික කෘෂි රසායන සමාගම්වලට කහින කෘෂි විශේෂඥයන් අමුතු කතා කියන්නට පුළුවන. ඒවා ගණන් ගත යුතු නැත. බිබිලේ දොඩම් වගාවට කළ විනාශය මතක් කර ගනිමු.

ගොවීන් මැහිතෙල් කඩෙන් උපදෙස් ගෙන කෘෂි රසායන යෙදීමේ පුරුද්ද වහා නැවැත්විය යුතුය. කෘෂි රසායන යෙදිය යුත්තේ බැරිම තැනය. සුදුසු උපදෙස් අනුවය. පොළොවේ ජීවය මරන ගිනිතැබීම්, වල් නාශක යෙදූ මුඩු බිමක වගාව ඇරඹීම දැන්වත් නතර කළ යුතුය.

ගොවිතැන යනු එක් අතකින් ආධ්‍යාත්මික ශික්ෂණ මාර්ගයකි. ගනුදෙනුවක් නොවේ. මහපොළොවේ ජීව ගුණය රකිමින් ගොවිතැන් කිරීමේ ශික්ෂණය නැවත ඇති කර ගත යුතුය. මහා පරිමාණ ගොවිතැනට ඔය උපදෙස් හරියන්නැතැයි බක පණ්ඩිතයන් කියනු ඇත. අපි අත්හදා බලමු. කාටවත් බැණ වදිමින් නොසිට ගොවීන් ගම්මාන වශයෙන් හෝ ඒකරාශීව තමන් සතු පාරම්පරික හා නවීන දැනුම අත්හදා බැලීමෙන් මෙය කෙටි කලකින් ජයගත හැකිය.

මාතෘකා