බුද්ධිමය දේපළ

බුද්ධිමය දේපළ

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට නියෝග කළේය. ඊට හේතුව වූයේ වීරවංශ මන්ත්‍රීවරයා විසින්, ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අධිකරණය නිගමනය කිරීමයි.

'නැත්ත වෙනුවට ඇත්ත' යන ග්‍රන්ථයේ අඩංගුව ඇත්තේ තමා විසින් ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය හමුවට තමා ඉදිරිපත් කළ අදහස්‌ හා යෝජනා බවත් ඒවා තමාගේ කිසිදු අවසරයකින් තොරව එකී ග්‍රන්ථයට ඇතුළත් කිරීමෙන් තමාගේ බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් පෙන්වා දෙමින් ටිල්වින් සිල්වා මහතා විසින් 2008 වසරේදී එම නඩුව පවරා තිබිණි.

දේපළ ලෙස අතීතයේ නිර්වචනය කර තිබුණේ තමන්ට අයත් නිවෙස් ඉඩම් ඇතුළු නිශ්චල දේපළ පමණක් වුවද වර්තමානයේදී ලෝකය බුද්ධිමය දේපළ මූලික වූ ලෝකයක් බවට පත්ව තිබේ.

බුද්ධිමය දේපළ යන්නෙන් අදහස් වනුයේ මිනිසෙකු තම බුද්ධිය මෙහෙයවා කරනු ලබන නිර්මාණයන්ගෙන් මතුවන අයිතිවාසිකම් වේ. මනසෙහි හටගන්නා නිර්මාණ සඳහා නෛතික අයිතිවාසිකමක්, ආර්ථිකමය වාසියක් මෙන්ම ඇගයීමක් හා සුරක්ෂිතභාවයක් ලබාදීමට උත්සාහ දැරීම බුද්ධිමය දේපල පනත හරහා සිදු වෙයි.

ජෛව සොරකම සහ ජෛව මංකොල්ලය ලොව පුරා සිදුවන බිහිසුණු සොරකමකි.

ශාක හෝ සතුන්ගේ හෝ ඔවුන්ගේ කිසියම් කොටසක් නීති විරෝධී ආකාරයෙන් රටින් ගෙන යාම හෝ ගෙන යාමට උත්සාහ කිරීම හඳුන්වනු ලබන්නේ ජෛව සොරකමක් ලෙසිනි. මෙහි දී සොරකමට ලක්වන්නේ සම්පූර්ණ සතෙකු, ශාකයක්, ඒවායේ කොටස්, නිස්සාරක, ශ්‍රාවයන් හෝ ප්‍රවේණික ද්‍රව්‍යයක් යන ඕනෑම දෙයක් විය හැකිය.

මෙවැනිම තවත් අවාසනාවන්ත සහ ඛේදනීය සොරකමක් වන්නේ 'බුද්ධිමය දේපල' මංකොල්ලයයි.

වරක් ඉන්දියාවේ 20 – 20 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය පැවරී තිබුණේ ස්ටාර් ටී.වී. නම් රූපවාහිනි ආයතනයටයි. ඔවුන් ක්‍රිකට් තරඟාවලිය විකාශනය කරන අතරේ ඉන්දියාවේ ජංගම දුරකථන සමාගම් එස්.එම්.එස් මගින් ක්‍රිකට් තරගයේ ප්‍රතිඵල හා ලකුණු මට්ටම් තම පාරිභෝගික ප්‍රජාව වෙත බෙදාහරින්නට විය. මේ ගැන සලකා බැලූ ස්ටාර් ටී.වී. ආයතනය මෙය වළකන ලෙස ඉල්ලා ඉන්දීය අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කරනු ලැබීය.

අධිකරණය ඉතිහාසගත තීන්දුවක් දුන්නේය.

ස්ටාර් ටී.වී. නාළිකාවට විකාශන අයිතිය පැවරී තිබියදී දුරකථන සමාගම් එස්.එම්.එස්. මගින් තොරතුරු ලබාදීම නීති විරෝධි කටයුත්තක් බවට ඉන්දීය අධිකරණය තීන්දු කළේය.

සොරකම කොහොමත් වැරදිය. සාමාන්‍ය පිළිගැනීම වන්නේ නූතන සියවසේ අතිශයින් වටිනා ශක්තිය නිර්මාණශීලී බුද්ධිය බවයි. එය කොල්ල කෑම සියලු සොරකම්වලට වඩා 'සාහසික පන්නයේ' සොරකමකි. මඩ ගැසීමේදීත්, අපහාස කිරීමේදීත්, අවලාද නැගීමේදීත් ඉතාමත්ම ප්‍රාථමික ලෙස හැසිරෙන සමහරු තමන් කරන ජඩකම් සහ තක්කඩිකම් ස්වකීය 'මජර' පිරුවටයෙන් වසා සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. ඒ සියල්ලට වඩා ඔවුන්ට යැපීමට 'ජාතිවාදය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ' තිබේ.

වෙන කරන්නට දෙයක් නැත්නම් ඒ ගැන සලකා බලන එක නොසෑහේද?

මාතෘකා