රැස ගැන කතුවර මත

 ඡායාරූපය:

රැස ගැන කතුවර මත

රැස සමාරම්භක කර්තෘ චාමර ලක්ෂාන් කුමාර ලියූ මුල්ම කතුවැකිය මෙසේ නැවත පළ කරනුයේ ඔහුට කෘතගුණ පිණිසය. රැස ගැන කතුවර මත පාඨකයන්ගේ සාධාරණ විනිශ්චය නමැති උරගලෙහි ගා සරිදැයි බැලීම පිණිසය.

ප්‍රථම වරට පුවත්පතකට වර්ණ තේමාවක් රැගෙන ආවේ ‘රැස’ යි

විමලනාත් වීරරත්න

රාවය ප්‍රධාන කර්තෘ

ලංකාවේ ප්‍රථම වරට පුවත්පතක වර්ණ තේමාවක් රැගෙන ආවේ ‘රැස’ පුවත්පතයි. එය ඉතා ක්‍රමානුකූලව පුවත්පතේ හරයට සහ අභිප්‍රායට හානි නොවන ආකාරයට භාවිත කරන්න ඔවුන් වගබලාගෙන තියෙනවා. ඒවගේම පුවත්පතේ ඕනෑම පිටුවක ‘රැස’ පුවත්පත යන්න හඳුනාගත හැකි ලෙස ඔවුන්ට අනන්‍ය වුණු වර්ණ තේමාව නිසියාකාරයෙන් භාවිත කරලා තියෙනවා. ‘රැස’ පුවත්පත, ආරම්භයේ සිටම ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව තම මාධ්‍ය භාවිත කළ පුවත්පතක්. ඒ නිසා ‘රැස’ කිසිදු ආකාරයකින් ජාතිවාදී, ආගම්වාදී අදහස් උද්දීපනය කරන්නේ නැහැ. ඒ අනුව බලන විට ලාංකේය පුවත්පත් කලාවට ‘රැස’ පුවත්පත සැලකිය යුතු කාර්යයක් ඉටු කර තිබෙනවා.

අලුත් අදහස් ඇති කර්තෘ මණ්ඩලය ගැන සතුටුයි

කේ.ඩබ්. ජනරංජන

අනිද්දා ප්‍රධාන කර්තෘ

‘රැස’ ලේක්හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත්වෙන්නේ ඒ වන විටත් ලේක්හවුස් ආයතනයෙන් දිනපතා පුවත්පතක් නිකුත් වෙමින් තිබෙන වටපිටාවකයි. ඉන් අදහස් වෙන්නේ පැවති සම්ප්‍රදායට වඩා වෙනස් සම්ප්‍රදායක් ඇති කිරීමට ඔවුන්ට තිබූ අවශ්‍යතාවයි. ලේක්හවුසියේ අනෙක් පුවත්පතේ නොතිබුණු වෙනසක් ‘රැස’ තුළ දක්නට ලැබෙනවා. ඒත් වැදගත්ම කරුණ පුවත්පතේ ආකෘති වෙනසක් තිබීමම නෙවෙයි, ඉන් මහජනතාවට දායාද කරන දේයි. පසුගිය කාලයේ ඒ කාර්යය අඩු වැඩි වශයෙන් ඉටු වෙන අයුරු ‘රැස’ පුවත්පත දෙස බලන විට පේන්න තිබුණා. ඒත් පාලන බලය වෙනස් වූ අවස්ථාවේ ඒ තත්ත්වය වෙනස් වුණා. කොහොම වුණත් මෙය ලේක්හවුස් ආයතනය විසින් පවත්වාගෙන යන ප්‍රකාශනයක් බව අමතක කරන්න හොඳ නෑ. ඒවගේම පවතින සීමිත ඉඩකඩ ඇතුළත ‘රැ‍ෙස්’ අලුත් අදහස් තිබෙන කර්තෘ මණ්ඩලයක් සිටීම සහ ඔවුන් එහි වැඩ කරන ආකාරය ගැන ඇති වන්නේ සතුටක්.

මාධ්‍යකරණය තම හුස්ම බවට පත් කර ගත් මාධ්‍යවේදී කණ්ඩායමක්

චාමින්ද වාරියගොඩ

සිළුමිණ ප්‍රධාන කර්තෘ

ප්‍රවෘත්තියකට ඇති ඉල්ලුම එදා අද කියා වෙනසක් නැත. මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා නිසා පුවතකට ඇති ඉල්ලුම අද ඇතැම් විට එදාට වඩා වැඩි වන අවස්ථාද ඇත. මේ පුවත් අද සැණෙකින් අපේ අත්ලට පියඹා එන්නේ ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයන් නිසාය. ඒ නිසා පුවතක් දැන ගනු වෙනුවෙන්ම පුවත්්‍පතකට තිබෙන ඉල්ලුම ලෝකයේම අඩුව යන ප්‍රවණතාවක් ඇත. එහෙත් ඩිජිටල් තාක්ෂණය පියාඹන වේගයටම පුවතපතකට ඇති ඉල්ලුම අඩු වුණේ නැත. හේතුව පුවත් දැන ගැනීමෙන් එහා ගිය මානව අවශ්‍යතාවක් හමුවේ පුවත්පතකට ඇති ඉල්ලුම තවමත් පැවතීමය. ඒ අනුව අද මිනිස්සු පුවතකින් එහා ගිය විමසුමක් වෙනුවෙන් වගේම සත්ත්වයන් අතුරින් මානවයන් තුළ පමණක් වර්ධනය වුණු කියවීමේ රුචිය නිසාද පුවත්පතක් බලන්නට පෙලඹෙති. පුවත්පතකට මේ පෙලඹවීම රඳවා ගැනීම පුවත්පත් කර්මාන්තය අද මුහුණ දෙන දැවැන්ත අභියෝගයකි. ශ්‍රී ලාංකේය දිනපතා පුවත්පත් අතරට මීට වසරකට කලින් එක් වුණු ‘රැස’ මේ අභියෝගය සාර්ථකව ජය ගත් දිනපතා පුවත්පතකි. වසරක් යනු පුවත්පතකට කෙටි කාලයකි. එහෙත් වසර ගණනාවකදී අත්පත් කර ගත නොහැකි වපසරියක් ‘රැස’ මේ වනවිට අත්පත් කරගෙන ඇත. නව්‍ය ලෝකයේ පුවණතා මනාව හඳුනා ගත් මාධ්‍යකරණය තම හුස්ම බවට පත් කර ගත් මාධ්‍යවේදී කණ්ඩායමක් අතින් සැරසෙන ‘රැස’ පත්තර මහගෙදරට ආඩම්බරයකි. පාඨක ලෝකයට ආලෝකයකි. හැමදාමත් රැසින් රැස් විහිදේවා!

‘රැස’ පුවත්පත මාධ්‍ය ලෝකයට අභියෝගයක් වුණා

සිරි රණසිංහ

ලංකාදීප ප්‍රධාන කර්තෘ

‘රැස’ පුවත්පතේ ආරම්භක කර්තෘ චාමර ලක්ෂාන් මහතා, මම හොඳින් හඳුනන තරුණයෙක්. ඔහුගේ නිර්මාණශීලීත්වය සහ කැපවීම මත ලේක්හවුස් ආයතනයේ පුවත්පතක් ලෙස වෙනස් ආකාරයකින් ‘රැස’ ආරම්භ වුණා. දිනපතා පුවත්පත් ලෝකයට එක් වුණු ‘රැස’ නිසා මාධ්‍ය ලෝකයේ තරඟකාරීත්වය වැඩි වුණා. ඔවුන්ට පවතින අභියෝග වැඩි වුණා. ඒ තරඟකාරීත්වය ඇති වීම නිසා පුවත්පත් තව තවත් නිර්මාණශීලී වුණා. එ තුළින් අනෙකුත් මාධ්‍යවේදීන්ට තම නිර්මාණශීලීත්වය දියුණු කරගැනීමටත් අභියෝගයන් ඇති කරගන්න සිදු වුණා. ‘රැස’ පුවත්පතෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට සිදු වුණු ප්‍රධානතම කාර්යභාරය එයයි. ‘රැස’ පුවත්පත දිනෙන් දින දියුණු වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ‘රැස’ කර්තෘ මණ්ඩලයටද සුබ පතනවා.

ඔවුන් තම මාධ්‍ය කාර්යභාරය මැනවින් ඉටු කළා

පුෂ්පා රොවෙල්

දිනමිණ ප්‍රධාන කර්තෘ

තරුණ ජවයත්, නව අදහසුත් සමඟ සම්ප්‍රදායික පුවත්පත් කලාවෙන් එහා ගිය, පාඨක ලෝකය ආකර්ෂණය කළ හැකි මාධ්‍ය භාවිතයක් සහිත පිරිසක් සමඟයි ‘රැස’ පුවත්පත ආරම්භ වුණේ. ‘රැස’ තම මාධ්‍ය කාර්යභාරය මැනවින් ඉටු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය මාධ්‍යයක් ලෙස තම වගකීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් කිසිදු ගැටලුවක් නොවන ලෙසට මෙහෙයවන්න එහි කර්තෘ මණ්ඩලය කටයුතු කර තිබෙනවා. එමෙන්ම ආකර්ෂණීය අන්දමින් පුවත්පතේ පිටු සකසන්නත් පිටු සැකසුම් අංශය වගබලා ගත්තා. ‘රැස’ පුවත්පත දිනෙන් දින ඉදිරියට යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. වසරක් මුළුල්ලේ ‘රැස’ මේ ආ ගමන්මඟ ඉදිරියටත් සාර්ථකව යන්න කර්තෘ මණ්ඩලයට මම සුබ පතනවා.

 

සම්මත ආකෘතියෙන් මිදීමට ‘රැස’ ගත් උත්සාහය ප්‍රශංසනීයයි

කාංචන දසනායක

අද ප්‍රධාන කර්තෘ

ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන අවස්ථාවක ‘රැස’ පුවත්පත සිය පළමු සංවත්සරය සමරයි. දිනපතා පුවත්පත්වල ආකෘතිමය වෙනසක් අවශ්‍ය බවට දැඩිව විශ්වාස කරන්නෙකු ලෙස සම්මත ආකෘතියෙන් මිදීමට ‘රැස’ ගත් උත්සාහය අගය කළ යුතුය. දැවැන්ත සමාගමක් සෙවණේ වඩාත් පහසුවෙන් අත්හදාබැලීම් කළ හැකි බව මම අත්දැකීමෙන් දනිමි. එහෙයින් ‘රැස’ පුවත්පත තවදුරටත් දිනපතා පුවත්පත් කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් අත්හදා බැලීම් කරමින් ඉදිරියට යනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි. එසේම මේ අවස්ථාවේදී ‘රැස’ ආරම්භක කර්තෘ චාමර ලක්ෂාන් සහෝදරයා මතක් කළ යුතුය. ඔහු ඉතිරි කළ මතකය සමඟ, ඔහුට හමාර කරන්නට නොහැකි වූ කාර්යභාරය වර්තමාන ‘රැස’ පිරිස ඉටු කරනු ඇතැයි මාගේ බලාපොරොත්තුවයි.

පුවත්පත් කලාවේ වෙනසක් කරන්න ගත් උත්සාහය අගය කරනවා

බෙනට් රූපසිංහ

මව්බිම ප්‍රධාන කර්තෘ

රාජ්‍ය මාධ්‍ය ආයතනයක ගතානුගතික සම්ප්‍රදායෙන් පිට ගිය මෙවැනි පුවත්පතක් ආරම්භ කිරීම ගැන මා සතුටු වෙනවා. මොකද රාජ්‍ය මාධ්‍ය ආයතනයක් පවතින රජයට පක්ෂපාතීව කටයුතු කළ යුතුයි. නමුත් ‘රැස’ පුවත්පත ඒ සම්ප්‍රදායෙන් මඳක් පිට පැන කටයුතු කරන පුවත්පතක් ලෙස මා දකිනවා. ඒ ගැන මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සේවකයෙකු ලෙසද මා සතුටු වෙනවා. එසේම ‘රැස’ ආකෘතිය අතිනුත්, සන්දර්භය අතිනුත් පුවත්පත් කලාවේ වෙනසක් කරන්න ගත් උත්සාහය මම අගය කරනවා. මාධ්‍ය කලාවට අලුත් ‘රැස’ක් ගෙන ඒමට හැකි වීම ගැන සහ මාධ්‍යය තුළ ඔවුන් ගෙන යන වැඩපිළිවෙළ ගැන මා ‘රැස’ කාර්තෘ මණ්ඩලයට සුබ පතනවා.

‘රැස’ ඉදිරියට යන ලකුණු පෙනෙනවා

ලලිත් අලහකෝන්

Daily News ප්‍රධාන කර්තෘ

‘රැස’ පුවත්පතේ මාධ්‍ය භාවිතාව ඉතා ඉහළයි කියලා මට කියන්න පුළුවන්. එය අලුත් පුවත්පතක් ලෙස ඉදිරියට යන ලකුණු පෙනෙනවා. ‘රැස’ සෑම දෙයක්ම සැකෙවින් ඉදිරිපත් කරන පුවත්පතක් ලෙස මා දකිනවා. ඒ වගේම අපක්ෂපාතීව තම මාධ්‍යකරණයේ නිරත වන්නටත් ‘රැස’ කර්තෘ මණ්ඩලය කටයුතු කරනවා. ඒ ගැන මම සතුටු වෙනවා. ‘රැස’ පුවත්පතේ මුල් පිටුවේ පුවත් තවත් කෙටි වී ශීර්ෂපාඨවලට වැඩි ඉඩක් දෙනවා නම් වඩාත් හොඳයි කියලා මම හිතනවා. කෙසේ වුවත් ‘රැසෙහි’ පුවත්පතක් ලෙස අන්තර්ගතය හොඳයි. පාඨකයාට කියවීමට ලිපි රාශියක් එහි අන්තර්ගත වෙනවා. ඒ වගේම පුවත්පතට වසරක් සපිරෙන මේ මොහොතේ එහි ආරම්භක කර්තෘ දිවන්ගත චාමර ලක්ෂාන් මහතාවත් සිහිපත් කරන්න ඕනේ. ඔහුගේ අභාවය මාධ්‍ය ලෝකයටම වුණු පාඩුවක් ලෙස මා දකිනවා. ඔහු ආරම්භ කළ ‘රැස’ පුවත්පත තම මාධ්‍ය වගකීම තවදුරටත් ඉටු කරමින් දිගුකලක් පවතීවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

අපක්ෂපාතී වාර්තාකරණයක්

දරීෂා බැස්ටියන්

Sunday Observer ප්‍රධාන කර්තෘ

අද දිනට වසරක් සපිරෙන ‘රැස’ පුවත්පතට දිවයින පුරා පාඨක ජනතාව අතරට යාමට හැකියාව ලැබී ඇත. ඊට හේතු වූ මූලිකම කරුණක් ලෙස මා දකින්නේ අපක්ෂපාතී වාර්තාකරණයටත් සෑම පුවතක්ම පුළුල් ලෙස ආවරණය කිරීමටත් සමාජීය ගැටලු සාධනීය ලෙස ඉස්මතු කිරීමටත් එය සමත් වී ඇති බැවිනි. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් තුළින් මෙවැනි ප්‍රකාශනයක් පළ වීමත් පැසසුමට භාජනය විය යුත්තකි. පුවත්පත් කලාව යම් ආකාරයකින් පසුබෑමකට ලක් වන මෙවන් යුගයකදී ‘රැස’ පුවත්පත පාඨක ජනතාව පුවත්පත් කලාව කෙරෙහි නැඹුරු කරවීමට සමත් වී ඇත. තව ඉදිරියටත් ස්වාධීනව, ධෛර්යවන්තව ජනතාව සඳහා දැවැන්ත කාර්යක් ඉටු කිරීමට මා ‘රැස’ කර්තෘ මණ්ඩලයට සුබ පතනවා.

මුද්‍රිත මාධ්‍ය ලොවේ අලුත් තාලයක්

කේ. කුනරාසා

ප්‍රධාන කර්තෘ තිනකරන්/ වාරමංජරි

සුළු කාලයක් තුළ ජනතාව අතර ප්‍රසිද්ධියට පත් ‘රැස’ පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයට තිනකරන් පුවත්පතේ සුබාශිංසනය පිරිනමනවා. සමාජ වෙබ් අඩවි උච්ච ස්ථානයේ තිබෙන මේ අවස්ථාවේ මුද්‍රිත මාධ්‍ය ලොවේ අලුත් තාලයකින් ‘රැස’ පුවත්පත ජනතාව අතර බැබළෙනවා. පුවත්පතක් කියන විට අප සමාජයේ මතය වී තිබෙන්නේ ප්‍රවීණ මෙන්ම වයසින් මුහුකුරා ගිය මාධ්‍යවේදීන්ගෙන් එය ඇරඹිය යුතු බවයි. ඒත් ‘රැස’ පුවත්පත එළිදකින්නේ තරුණ මාධ්‍යවේදී කණ්ඩායමකගේ ප්‍රයත්නයෙන්. දමිළ පුවත්පතක කර්තෘවරයකු වශයෙන් අනිවාර්යයෙන් ‘රැස’ පිළිබඳව වචනයක් කිව යුතුයි. දමිළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු ‘රැස’ පුවත්පතේ නිතර නිතර වාර්තා වෙනවා. සමාජය ගැන ඉතා හොඳ දැනුවත්කමකින් ඔවුන් එය වාර්තා කරන බව පෙනෙනවා. මෙම තරුණ පිරිසගේ හදගැස්ම ‘රැස’ පුවත්පතේ මනාව පිළිබිඹු වෙනවා. පුවත්පතේ නිර්මාතෘ ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මැතිඳුන්, අධ්‍යක්ෂ මඬුල්ල ඇතුළු ‘රැස’ කර්තෘ මණ්ඩලයට මාගේ හද පිරි සුබාසිංශන පිරිනමනවා.

නව සම්ප්‍රදායක් නිෂ්පාදනය කළ පුරෝගාමියෙක්

සමන් ජයකොඩි

ඇත්ත ප්‍රධාන කර්තෘ

වත්මන් මාධ්‍ය භාවිතාව පිළිබ‍ඳ සමාජයේ පවතින්නේ හිතකර නොවූ ප්‍රතිරූපයකි. තමා මාධ්‍යවේදියෙකු යැයි එළිපිට කියන්නට අපහසු තරම්ම එය පිරිහෙමින් ඇත. එවන් අවස්ථාවක ‘රැස’ ලංකාවේ වර්තමානයේ නව සම්ප්‍රදායක් නිෂ්පාදනය කළ පුරෝගාමියෙකු යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එමෙන්ම ‘රැස’ වත්මන් චින්තන ව්‍යාහාරය පුබුදු කරන සමාජ අනන්‍යතා සලකුණක්ද වී ඇත. එය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් තුළින් පැමිණීම ආස්වාදජනකය.

ඉතිහාස දුම්රියේ ‘රැස’ටද වෙන් වන නිශ්චිත මැදිරියක් ඇත. පත්තරකාරයන්ට අනන්‍ය වූ විශාල පරිවර්තනීය අනාගතයක් ‘රැස’ සමග පවතින බව මගේ විශ්වාසයයි. දැන් මගේ අවධානය ඇත්තේ ඒ වෙතයි. අතීත අදීන පත්තරකාරයන්ගේ උරුමය ‘රැස’ මාධ්‍යවේදීන් තුළද ඇත. ඒ නිසා ‘රැස’ ගැන මට බියක් නැත. චින්තන සමාජ ඉතිහාසය පුරුක් දාමයකි. කිසිදු වලාකුළක් නිදහස් නැත. ඒවාද අහසට බැඳී ඇත.

අවුරුද්දකට සුබ පතමු!

පද්ම මංජුල

‘ලංකා’ ප්‍රධාන කර්තෘ

‘රැස’ වෙනස් විදිහකට ලේක්හවුස් ආයතනය තුළ ආරම්භ කළ පුවත්පතක් බව අපි දකිමු. සම්ප්‍රදායික ‘පත්තරකාරයන්ගෙන්’ තොරව තරුණ මිත්‍රශීලී අප දන්නා බොහෝ මිතුරෝ වසරකට පෙර ‘රැස’ ඇරඹූහ. වසරක් ගෙවෙන තැන ඇතැම් මිතුරෝ ‘රැස’ අත්හැර ගියෝය. ඇතැමෙක් තවමත් ‘රැස’ මත සිය මාධ්‍ය ජීවිතය වපුරති.

ලේඛන රටාවේත්, නිමාවේත් අලුත් ගුණයක් සහිත පත්තර මහගෙදර වන බේරේ ගෙදරින් මුද්‍රණය වන පත්තරයක පිටු අතර ‘මධ්‍යස්ථභාවය රැක ගැනීම’ භාරදූර කර්තව්‍යයකි. වසරක් අවසානයේ පිටින් නොව ඇතුළතින්ම ‘රැස’ ආ මඟ දෙස හැරී බැලීම ‘රැසට’ පණ දුන්, පණ දෙන පත්තර මිතුරන්ට වටිනා අත්දැකීමක් වනු ඇතැයි ‘ලංකා’ හි අපි විශ්වාස කරමු.

සමාජයේ අරගල සමඟ හිඳිනා පත්තර මිතුරන් සමඟ ‘රැස’ ආ මඟට අප ‘ලංකා’ ලෙස සුබ පැතුම් එක් කරන අතර පවත්නා සාපේක්‍ෂ හෝ මධ්‍යස්ථභාවය වසරකින් ඉක්බිතිවත් ධෛර්යසම්පන්නව පවත්වා ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව ‘ලංකා’ කර්තෘ මණ්ඩලය සමඟ සමස්ත කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කරමු.

මාතෘකා