ජනතා නියෝජිතයෝ

ජනතා නියෝජිතයෝ

මේ වසර 'මැතිවරණ' වර්ෂයකි. එනයින් ගත් කල දේශපාලනඥයන්ට වැඩ අධික කාල සමයකි. සමීපතම පාක්ෂිකයන්ටද 'කාර්යබහුල'සමයකි.

සියලු දෙනා එක්ව ස්වකීය නියෝජිතයන් තෝරා ගැනීමට නියමිත වකවානුවකි.

අපව නියෝජනය කරන්නට යවන පුද්ගලයන් පිළිබඳව අප වඩාත් නිවැරදි තීන්දුවක් ගෙන තිබේද යන්න වෙනම විමසා බැලිය යුතුය. එහෙත් මේ මොහොතේ අප ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳව සැලකිලිමත් වීම වටී.

එක් අතකින් ලොව පුරා තරුණ නායකයෝ පෙරට එමින් සිටිති. අනෙක් අතට කීර්තිමත් 'මහතීර් මොහොමඩ්' වැනි වියපත් නායකයෝදමතු වෙමින් සිටිති.

කෙසේ වෙතත් තරුණ නායකයන් දේශපාලනයට නැඹුරු වීම සාධනීය තත්ත්වයකි.

ජස්ටින් ටෲඩෝ කැනඩාවේ 23 වන අගමැතිය. ලිබරල් පක්ෂයේ නායකයා වන විට ඔහුට වයස 36කි. වයස 44දී ඔහු අගමැතිවරයා බවට පත් විය. එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රංශයේ ජනාධිපතිය. 2017 මැයි 14 වැනි දින වයස 39දී හෙතෙම ජනාධිපති ධුරයට පත් විය. ඔහු ප්‍රංශ ඉතිහාසයේ ළාබලතම ජනපතිය. ජූරි රටාස් එස්ටෝනියා අගමැතිය. ඔහු, 2016 නොවැම්බර් මස වයස 38දී අගමැති විය. ජසින්ඩා ආර්ඩන් නවසීලන්තයේ අගමැතිනියයි. 2017 නොවැම්බර් මස, වයස 37දී අගමැති විය. සෙබස්තියන් කර්ස් ඔස්ට්‍රියාවේ චාන්ස්ලර්ය. ඔහු 2017 ඔක්තෝබර් මස වයස 31දී චාන්ස්ලර් ලෙස පත් විය.

ලෝකය ස්වකීය දේශපාලන යාවත්කාලීන වීම ප්‍රායෝගිකව අර්ථ ගන්වන්නේ එහෙමය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තවදුරටත් එතරම් විවෘත මනසකින් කටයුතු කරන්නේ නැත. එහෙත්, නියෝජිත ආයතනවල තරුණයන්ට අවස්ථව සලසා දීම නොවළහා කළ යුතු කාර්යයකි.

1971, 87-89 වැනි කාල පරිච්ඡේදවල පැවති සිංහල තරුණයන්ගේ කැරැලිවලදී මෙන්ම, තිස් වසරක් තිස්සේ ඇදී ගිය දෙමළ ඊලාම් කැරැල්ලේදී ද වැඩිම සහභාගිත්වයක් දැක්වූයේ ද, එම හේතුවෙන් වැඩිම හානියක් අත්පත් කර ගත්තේ ද තරුණ ප්‍රජාව වන අතර, ඒවා මඬින්නට ඉදිරිපත් වූයේත් තරුණයන්මය.

ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ලක්ම තරුණ සංවිධාන විවිධ නම් ඔස්සේ පිහිටුවා ඇත. අතීතයේ නම් තරුණ දේශපාලන සංවිධාන යනු ජාතික නායකත්වයට බිම් මට්ටමේ සිට රැගෙන එනු ලබන සංවිධාන ව්‍යුහයකි. එහෙත් වර්තමානයේ බොහෝ දේශපාලන පක්‍ෂවල කිහිප විටක නායකත්වය හරි මඟට ගැනීමට හඬක් නඟන්නේ තියා, තමන් නියෝජනය කරන තරුණ තරුණියන් වෙනුවෙන් හඬක් නඟන්නේද නැත.

පක්‍ෂයක තරුණ සංවිධානය දේශපාලන පක්‍ෂ ජයග්‍රහණ වෙනුවෙන් කැපවී පමණක් පලක් නැත. පක්‍ෂයේ දේශපාලන වැඩපිළිවෙළට තරුණ සාමාජිකයන්ගේ අදහස් එකතු කිරීමටත් නායකත්වයට තරුණ ප්‍රජාව සහභාගී කරවා ගැනීමටත් කටයුතු කළ යුතුය. රාජ්‍ය ප්‍රතිපත්තිවලට, පක්ෂ ප්‍රතිපත්තිවලට හා මැතිවරණ පනත් සංශෝධනවලට තරුණ නියෝජනයට ඉඩක් ඉල්ලා හඬ නැඟිය යුතුය.

රටේ වැදගත් දේශපාලන තීන්දු ගැනීමේදී, නීති සම්පාදනයේදී සහ ජාතික ගැටලුවලට විසඳුම් සෙවීමේදී තමන් හරියැයි ක්‍රියාකරන සම්ප්‍රදායික, පාරම්පරික වැඩිහිටි නියෝජිතයින් නිසා විවිධ වූ දේශපාලන අර්බුද නිර්මාණය වී තිබේ. ජාතික ප්‍රශ්නවලදී හෝ ජාතික වශයෙන් වැදගත්වන කිසිදු තීරණ ගැනීමේ කටයුතුවලට ප්‍රමාණවත් තරුණ නියෝජනයක් ලබාදීමේ පූර්වාදර්ශයක් නොමැතිවීම තව දුරටත් සිදු නොවිය යුතුය.

අප දෙවරක් දකුණේ කැරලිවලින් සහ එක් වරක් උතුරේ කැරැල්ලකින් පීඩා විඳි සහ තවමත් පහව නොගිය වෙඩි බෙහෙත් දුමාරයෙන් සමන්විත රටකි.

නැවත නැවතත් තරුණ විප්ලවයන් සිදු නොවීමට නම් සිදු කළ යුත්තේ තරුණ අසහනය වැළැක්වීමේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ නියෝජන අවස්ථා තරුණ ප්‍රජාව වෙත සමීප කිරීමය.

මාතෘකා