පාසලට නීතිය ප්‍රශස්තය

පාසලට නීතිය ප්‍රශස්තය

අප්‍රිකානු මාසායි මාරා ගෝත්‍රික කියමනක් තිබේ,

''ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් ධාන්‍ය වපුරන්න. ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් ගස් සිටුවන්න. ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයටම නම් ජනතාවට අධ්‍යාපනය දෙන්න.''

අධ්‍යාපනය කෙතරම් සුවිශේෂද යන්න ඉන් ගම්‍ය වේ.

නීතිය පාසල් විෂයට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති පුවත වැදගත් වන්නේ එකී ප්‍රකාශයත් සමඟ සැසඳූ විටය. මෑතකාලීනව ආණ්ඩුව ගත් වඩාත් ප්‍රශස්ත තීන්දු අතරෙහිලා එම තීන්දුවටද පුමුඛස්ථානයක් හිමිවෙයි.

දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ල රටේ යහපැවැත්මට එල්ල කරනුයේ මරු පහරකි. එහෙත්, වරදකට දඬුවම් පැමිණවීමේදී නීතිය නොදැන සිටීම නිදහසට කරුණක්‌ ලෙස පිළිනොගැනේ.

අධ්‍යාපනය යනු එක් අතකින් පුද්ගල සංවර්ධන ක්‍රියාවලියකි. අනෙක් අතට සමාජ සංවර්ධන ක්‍රියාවලියකි. එමෙන්ම රටක පවත්නා අධ්‍යාපන ක්‍රමවේදය එම රටේ පිටකොන්ද නිර්මාණය කරන ගාමක බලය සපයයි. යාවත්කාලීන නොවන අධ්‍යාපන ක්‍රමවේදයකින් රටක් පෙරට යන්නේ නැත.

හිරෝෂිමා, නාගසාකි නගර දෙක සුනුවිසුනු කොට දමා ජපානය දශක ගණනාවක අමු සොහොනක් බවට පත් කළාට පසු නැවත ජපානය නැඟී සිටියේ විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයේ පිහිටෙනි. අද වන විට ජපානය යනු තමන්ගේ දෙපයින් නැඟී සිටි ප්‍රමුඛ රාජ්‍යයයි.

ඒ අනුව ලෝකය හා ගනුදෙනු කළ හැකි තුන්කල් දක්නා අධ්‍යාපන ක්‍රමවේදයක් රටකට අත්‍යවශ්‍යය.

නීතිය පාසල් පෙළ පොතට ගෙන ඒමේ කථිකාවත කලක සිට මතුව ආවකි. එහෙත් එය වඩාත් විධිමත්ව සාකච්ඡාවට ගනු ලැබුවේත් ඊට සක්‍රිය මැදිහත්වීමක් වූයේත් මෑතකදීය.

දිනෙන් දින මෙරට සමාජය තුළ ව්‍යාකූලතා වර්ධනය වෙයි. නීතිරීති නොදන්නා සමාජයක මානව පැවැත්ම අභියෝගාත්මකය.

දශක පහකට පමණ පෙර ගෙවත්තක කෙසෙල් කැනක්‌ හොරෙන් කපා ගැනීම, පොල් ගෙඩියක්‌ හොරකම් කිරීම වැනි දෙයක්‌ හැරුණු විට මිනී මැරුමක්‌, ස්‌ත්‍රී දූෂණයක්‌, මහා පරිමාණ මංකොල්ලයක්‌ පිළිබඳ අහන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එබඳු සිදුවීමකදී රටම භීතියට පත් විය.

එහෙත් මේ වකවානුවේ බිහිසුණු අපරාධ බහුලය. 'චිකාගෝ' ක්‍රමයට සිදුවන මිනීමැරුම්ය. ළමා අපරාධ බහුලය. අපචාර සුලබය. මේ තත්ත්වයට අධ්‍යාපන ක්‍රමයෙහි 'දුබලතා'ද හේතු වෙයි. අති ධාවනකාරී තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් දරුවෝ රෝබෝවරු වී සිටිති. ඉතාම සරල නීතිය පවා නොතකා හරින සමාජයක් බිහිවන්නේ ඒ පිළිබඳව දැනුමක් නොමැති කලය. දැනුම්වත්භාවය තුළින් වඩාත් ප්‍රතිඵලදායක ජයග්‍රහණ උදාකරගත හැකිය.

වඩාත් වැදගත් වන්නේ එකී දැනුම ලබාදෙන ආකාරයය. දැනටත් ළමා හිසට දැරිය නොහැකි තරම් බර විෂය නිර්දේශයක් නඩත්තු කරන අතරේම 'නීතිය' බරට පොවන්නට ගියහොත් සිදුවන්නේ ඔක්කාරය වීමකි.

ඒ නිසා වඩාත් ප්‍රශස්ත ලෙස ළමා මනස අවබෝධ කරගෙන විෂය නිර්දේශය සැකසිය යුතුය.

බුද්ධ ධර්මය විෂය හෝඩියේ සිට උගන්වයි. එහෙත් කිසිවකු එකී දහම් කරුණු මත කටයුතු කරනවාද? ඊට ප්‍රධානතම හේතුව එකී විෂය ඉගැන්වීම යාවත්කාලීන නොවීමය.

නීතිය ඉගැන්වීම පිළිබඳවද එකී තර්කය අදාළය.

දිනපතා වෙනස්වන සමාජ වටපිටාවට පිවිසීමට මෙයින් මඟ සැලසේ. චීනයේ මැන්ඩලින් අධ්‍යාපනය, බෞද්ධ දර්ශනය, බ්‍රාහ්මණ ආගම යාවජීව අධ්‍යාපනයට නිදසුන්ය. මේ අධ්‍යාපන ක්‍රමයෙන් පූර්ණ මිනිසකු බිහි වේ. මෙම ක්‍රමයෙන් මානව දයාවෙන් යුත්, යහපත්, නැණවත්, ගුණවත් සමාජයක් බිහිකිරීෙම් හැකියාව ඇත.

එවන් තත්ත්වයක් තුළ නීතිය පාසල් අධ්‍යාපනයට එක් කිරීම සාතිශය වැදගත් පණිවිඩයක් වෙයි. නමුත් අප ඉතා තරයේ අවධානය යොමුකළ යුත්තකි. ඒ, මෙහි ප්‍රතිඵල 'එසැණින්' ලබාගත නොහැකි බවය. ආණ්ඩු මාරුවන විට මුල්ම ප්‍රහාරය එල්ල වන්නේ අධ්‍යාපනයට නම් ඒ රටට දෙයියන්ගේම පිහිටය.

මාතෘකා