අධි ආරක්ෂිතයේ ඝාතකයෝ

 ඡායාරූපය:

අධි ආරක්ෂිතයේ ඝාතකයෝ

ප්‍රකට මාධ්‍යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8දා පෙරවරුවෙහි තම නි‍වසේ සිට කාර්යාලය බලා මෝටර් රියෙන් යමින් සිටියදී ට්‍රේල් වර්ගයේ යතුරුපැදිවලින් පැමිණි ඝාතකයන්ගේ ගොදුරක් බවට පත්විය. වෙඩි තබා ඝාතනය කරන ලද බව ප්‍ර‍සිද්ධ වුවද පසුව අනාවරණය වූයේ නවීන පන්නයේ උල් ආයුධයකින් හිසට ඇන ඇති බවය. ඒ වන විට ආරක්ෂක ලේකම්වරයා සහ ඔහු අතර බිහිසුණු මට්ටමේ ආරවුලක් නිර්මාණය වී තිබිණ. එය පුද්ගලික එකක් නොවේ. සියල්ල සිදුවූයේ අධි ආරක්ෂිත කලාපයේදීය.

මිග් යානා ගනුදෙනුවේදී සිදුවී ඇති දූෂණ ලසන්ත තම පුවත්පතින් හෙළිදරව් කර තිබිණ. ආරක්ෂක ලේකම් තමාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලසන්ත නීතිය හමුවටද ගියේය. එය මාරයාට අතවැනීමක් බව කාහටත් වැටහී ගියේ එසමයෙහි අත්දැකීම් අනුවය.

අධිකරණ කටයුතු නිසා ඔහු ආරක්ෂක ලේකම්වරයාගේ සෘජු තර්ජනයට ලක්වූයේ 2008 දෙසැ. 5 වැනිදාය. ඔහු ඝාතනයට ලක්වූයේ එයින් මසකුත් දින 4ක් ගතවන්නට පෙරය.

ලසන්ත ඝාතනය වන මොහොත වන විට යුද්ධය තීරණාත්මක අදියරක පැවතිණ. යුද්ධය පිළිබඳ වාර්තාකර‍ණය දකුණේ මාධ්‍ය විසින් සිදු කරන ලද්දේ ආරක්ෂක අංශවල රැකවරණ හා ආධාර යටතේ හමුදා දෘෂ්ටි කෝණයෙනි. එල්ටීටීඊ මාධ්‍ය එහි ප්‍රතිවිරුද්ධ ආස්ථානයෙහි කටයුතු කළේය. යුද්ධයට ගොදුරු වූ ජනදිවිය එම මාධ්‍යට නොපෙනිණ.

යුද වාර්තාකරණය යනු යුදබිමෙහි පාර්ශ්වයකට අයත් නොවී ගොදුරු බිම්වල මහජනයා අතර සිට කෙරෙන වාර්තාකරණයයි. එවැනි වාර්තාකරණයක් මෙරට නොමැත. එනිසා යුද පුවත් වාර්තාකරණය විෂයයෙහි ලබාදී ඇති සම්මානද ව්‍යාජ ඒවාය. මෙරටට වරක් පැමිණි මාරි කොල්වින් එවැනි වාර්තාකාරිණියකි. එල්ටීටීඊකාරියක ලෙස දකුණේ මාධ්‍ය විසින් හංවඩු ගසන ලද ඇය යුද බිමෙහිදී තුවාල ලැබුවාය. පසු කලෙක ඇය එතෙරදී මියගියේද යුද පුවත් වාර්තාකරණයෙහි යෙදී සිටියදී යුද බිමකදීය.

ලසන්ත යුද පුවත් වාර්තාකරණ විෂයයෙහි යෙදුණු ලේඛකයෙක් නොවේ. ඔහු ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. රාජ්‍ය දේපළ වංචාව, අපහරණය සහ වෙනත් අපරාධ සාධක සහිතව අනාවරණය කිරීමට ඔහු සමත් විය. මේ සඳහා දිවි පරදුවට තැබීමේ ආත්ම පරිත්‍යාගයක් අවශ්‍ය වේ. ඒ ගුණය ඔහු සතු විය. එහෙයින් ඔහු දුර්ලභ ගණයේ ජනමාධ්‍යවේදි‍ෙයකි.

යුද්ධයක් පවතින විටදී ආයුද ගනුදෙනුවලින් ගසාකෑම ආගන්තුක අත්දැකීමක් නොවේ. ඒවා හෙළිදරව් කිරීම අවදානම් සහගතය. ඒ ආරක්ෂක බලධාරීන්ගේ ගොදුරු බවට පත්විය හැකි හෙයිනි. ඒ නිසා ජනමාධ්‍ය නිහඬ වෙයි. ලසන්ත ඒ අවදානමට බිය නොවීය.

එහිදී ඔහු භාවිත කළ භාෂාව සහ රීතිය සුමට එකක් නොවීය. කිසියම් වෛරී සහගත බවක්ද එහි විය. එහෙත් ප්‍රස්තුතයට අදාළ මූලාශ්‍රය එහි තිබිණ. මේ නිසා චූදිත පාර්ශ්වයට එය මඟහැර යා නොහැකි විය.

ලසන්ත ඝාතනය කෙරුණේ මහජන මතය රණකාමයෙන් පිස්සු වට්ටා ඇති මොහොතකය. ඝාතනයෙන් පසු ජනාධිපති හදිසියේ ජාතිය ඇමතීය. යුද ජයග්‍රහණ ගැන කී ඔහු රජයට විරුද්ධව කුමන්ත්‍රණයක් ඇති බවත් ලසන්ත ඝාතනය එහි ඵලයක් බවත් කීය. සතියක් ඇතුළත ඝාතකයන් අල්ලා ගන්නා බවත් කීය. රජයට තිබූ අසීමිත බලය අනුව එය වෙනත් පාර්ශ්වයකින් සිදුවූවා නම් සිදුවන දේ සිතාගත හැකිය.

මෑතදී එම පරීක්ෂණ අවසන් අදියරට පැමිණියේය. ලසන්තගේ චෝදනා සත්‍ය බව තහවුරු වී ඇත. ඉතිරි වගකීම ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවටය.

අපරාධකරුවන්ට දඬුවම් දීම යහපාලනයේ එක් පොරොන්දුවකි. ලක්ෂ හැට දෙකක ප්‍රාර්ථනාව එයයි. වෙන වෙන සම්මුතීන් ඔවුන්ට අදාළ නැත. නීතියට ඇඟිලි නොගැසීමේ ගුණය හොඳය. එහෙත් එය ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබිය යුතුය. එය ගමේ රංබණ්ඩාට මෙන්ම ඇමරිකාවේ රවුම් ගහන රදළයාටද සමාන අයුරින් ක්‍රියාත්මක විය යුතුය.

මාතෘකා