‘බුද්ධිය’

‘බුද්ධිය’

නූතන ලෝකයේ වැඩිම මිලක් හිමි වන්නේ නිර්මාණශීලී බුද්ධියටය. ඒ අනුව නිර්මාණශීලී බුද්ධිමතුන් ලෝකය දිනා සිටී. එමතු නොව එවැනි නිර්මාණශීලී බුද්ධිමතුන් හට ලොව පුරා විශාල ඉල්ලුමක් තිබේ.

ඒ නිසාම බොහෝ බුද්ධිමත් නිර්මාණශීලීන් රට හැර යයි.

තුන්වෙනි ලෝකයේ රටවල්, එහෙමත් නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටවල් වශයෙන් හඳුන්වනු ලබන රාජ්‍යවලට මුහුණ දීමට සිදුවන බරපතළ ඛේදවාචකයක් ලෙස "බුද්ධි ගලනය" හඳුන්වාදිය හැකිය. 'රට හැරදා ගොස් වෙනත් රටකට සේවය කිරීම කාලයක සිට සිදුවන්නකි. පෞද්ගලිකව ගත් විට එය ඔහුට වාසිදායක වුවද පොදුවේ රටට සිදුවන අවාසිය, අගතිය සහ අසාධාරණය මෙතකැයි කිව නොහැකිය.

ප්‍රාමාණික බුද්ධිමතුන් රටින් බැහැර වී සිටීම ඛේදවාචකයක් වන්නේ එනිසාය.

ශ්‍රී ලංකාවටද බුද්ධි ගලනය යනු දශක කීපයක් තිස්සේ බලපාන ගැටලුවකි. 70 දශකයේ පමණ සිට එකී බුද්ධිගලනය රටට තරමක් දැනෙන ආකාරයට සිදුවූ අතර අද එය ජාතික ගැටලුවක් දක්වා දුරදිග ගොස් ඇත. එහෙත් එය ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන අවශ්‍ය පිළියම් යොදන්නට මෙරට පාලකයෝ අපොහොසත් වූහ.

රාජපක්ෂ ජනපති සමයේදී මෙරට සරසවි ඇඳුරන් විශාල සටනක් ගෙන ගියේ අධ්‍යාපනයට කරන ප්‍රතිපාදන සියයට 6ක් කරන ලෙස ඉල්ලාය. එහෙත් අතිශය විසුළුසහගත ස්වරූපයෙන් ඒ ආණ්ඩුව එය නොතකා හැරියේය. 'යහපාලන ආණ්ඩුව' පත් වූ විගස 'රට ගොඩනැඟීම වෙනුවෙන් රට භාරගන්නා' ලෙස රජය සියලු බුද්ධිමතුන්ගෙන් ඉල්ලීමක් කළේය.

එහෙත්, පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා විදේශගත වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට නොපැමිණෙන බවත් එක් ආචාර්යවරයෙකුගෙන් රජයට රුපියල් ලක්ෂ 60ක පමණ පාඩුවක් රජයට සිදු වන බවත් වාර්තා වෙයි. පශ්චාත් උපාධි සඳහා විදෙස්ගත වූ ආචාර්යවරුන් 486 දෙනෙකු නැවතත් මෙරටට නොපැමිණ තිබේ.

පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමක් අත්සන් කර විදෙස්ගත වන අතර ඔවුන් විදෙස් අධ්‍යාපනය හදාරන කාලය තුළ මෙරට රජය විසින් ඔවුන්ට වැටුප් ගෙවනු ලැබේ.

ඒ අනුව රජයට වන පාඩුව ආසන්න වශයෙන්, රුපියල් මිලියන 813ක්ය.

රටට හිමි භෞතික සම්පත් ප්‍රමාණය, එම රාජ්‍යයට හිමි ප්‍රාග්ධන ශක්තිය, රටේ පවතින මානව සම්පත යන සාධක තුන රටක සංවර්ධනය තීන්දු කරන මූලික සාධක තුනයි. නූතන රාජ්‍ය පාලනයේදී මානව සම්පත වඩාත් වැදගත්ම සාධකය ලෙස සලකනු ලැබේ. භෞතික සම්පත් හා ප්‍රාග්ධන හැකියාව ඇතත්; මානව සම්පතින් දුර්වල රටවල් වේගවත් සංවර්ධනයක් ළඟාකර ගන්නේ නැත.

හැත්තෑව දශකය අවසන් වන තුරු අප රටේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉතා ඉහළින් තිබුණි. මෙරට විශ්වවිද්‍යාල මගින් අලුත් සාහිත්‍ය අලුත් නිර්මාණ, නාට්‍ය අලුත් බීජ වර්ග පැලෑටි වර්ග වැනි දේවල් බිහිවිණි. මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විදේශ සරසවිවල ඉහළ පිළිගැනීමක්‌ද ලැබිණි.

ශ්‍රී ලංකාව සෙසු බොහෝ සංවර්ධිත නොවූ රාජ්‍යයන්ගෙන් වෙන් වන හේතු බොහොමයක් වෙයි. අදාළ සෑම ක්ෂේත්‍රයක් තුළම පුහුණු ශ්‍රමිකයෝ සිටීම ඉන් ප්‍රමුඛය. වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු ශිල්පය, තාක්ෂණවේදය, පරිගණක තාක්ෂණය, ගණකාධිකරණය යනාදී ඕනෑම ක්ෂේත්‍රයකදී ලෝකයේ ඕනෑම රටක වෘත්තීයවේදියකු සමඟ කරට - කර තැබිය හැකි දක්ෂයෝ පිරිසක් අපට සිටිති.

උගත්කමට නොසැලකීම, නිදහසේ සේවය කිරීමට වාතාවරණයක් නැතිකම, ආර්ථික ප්‍රශ්න, දේශපාලන බලපෑම් යනාදී හේතු එකක් හෝ කිහිපයක් මුල්කොටගෙන ඔවුහු රටට පෙරලා පැමිනෙන්නේ නැත.

මෙයින් රටට සිදුවන පාඩුව සුළුපටු නොවේ. මේ රට නිදහස් අධ්‍යාපනය ලබාදී දරුවන් පෙරට ගන්නා රටකි. එක් දරුවෙකු මූලික වසර 11ක් පාසල් යනතුරු ආණ්ඩුව දරන වියදම ලක්ෂ ගණනකි. ඔහු සරසවි ගොස් උපාධිය ලබන තුරු මෙරට අන්ත අසරණ යාචකයාගේ සිට ඔහු වෙනුවෙන් කිසියම් දායකත්වයක් දරයි.

සරසවි වරම් ලබා උපාධිය ලබන අතලොස්සෙනුත් සුළු පිරිසක් ආචාර්යවරුන්, මහාචාර්යවරුන් බවට පත් වේ.

ඔවුන්ට වැඩිදුර විදෙස් අධ්‍යාපනය ලබන්නට ආණ්ඩුව නැවත සහනයක් සහ අනුග්‍රහයක් ලබා දෙයි. එය පිහිට කොටගෙන විදෙස් ගතව ස්වකීය අභිලාශයන් මුදුන්පත් කොටගෙන නැවත පෙරළා නොඑන්නේ නම් ඔවුන් රටට කරන අසාධාරණය සුළුපටු නැත.

මාතෘකා