නව නිපැයුමෙන් තොරව හෙටක් වේද?

නව නිපැයුමෙන් තොරව හෙටක් වේද?

ඔස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ නිමැවුම්කරුවකු වන ෆ්‍රාන්ස් සිය විවේක කාලය ගත කළේ පියාඹන පැරෂුටයක් නිර්මාණය කිරීමටය. අවාසනාවකට ඒ පැරෂුටය අත්හදා බැලීම සඳහා අයිෆල් කුළුනේ සිට බිමට පනින අවස්ථාවේදී පැරිෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු එතැනම මිය ගියේය.

මාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳව පර්යේෂණ කළ රසායන විද්‍යාඥවරියකි. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිළිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමි විය. කෙසේ වෙතත් 1934දී විකිරණ ශරීරගත වීම නිසා ඇති වන Aplastic Anemia නම් රෝගී තත්ත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත් වූවාය.

ඒ අනුව බැලූ විට නව නිපැයුම් කිරීම බෙහෙවින්ම අසීරු ක්‍රියාවලියකි. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවීමට උත්සාහ කරන අතරතුර නවසිය අනූනව වතාවක් අසාර්ථක විය. එහෙත් සිය උත්සාහය අත්නොහැරි එඩිසන් කියා සිටියේ 'බල්බයක් නිපදවීමට නොහැකි අවස්ථා 999ක් තමන් සොයාගත්' බවයි. බල්බයක් නිපදවන ක්‍රමය සොයා ගැනීම එයින් පහසු වෙන බවත් ඔහු කීවේය. අවසානයේදී ඔහු බල්බය සොයා ගත්තේය.

නව නිපැයුම් යනු ලොව නව මාවතකට රැගෙන යන මිනිසුන්ගේ අපිරිමිත කැප කිරීමකින් ලබන ප්‍රතිඵලයයි. එදාමෙදා තුර මානව සංහතියේ චිරපැවැත්ම උදෙසා නව නිපැයුම් තුළින් ලද පන්නරය අතිමහත්ය.

වත්මන් ශ්‍රී ලාංකේය සමාජය බෙහෙවින් පසුගාමී බවත්, ඉඳිකටුවක්වත් නිෂ්පාදනය කිරීමේ හැකියාවවත් නොමැති බවත් ඇතැමුන් කලක සිට නැඟූ අඳෝනාවකි. එකී අඳෝනාව සත්‍යයක් වන තරමටම තත්ත්වය කනගාටුදායක වූයේ සත්‍ය වශයෙන්ම එවැනි නිපැයුම්වලින් බොහෝ දෙනා දුරස් වූ නිසාය. එහෙත් ඉතිහාසය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.

මෙරටට තරම් විශ්මිත වාරි තාක්ෂණයක් කිසිවකුට තිබුණේ නැත. මෙරටට අනගි සිතුවම් කලාවක්, ගොවිතැන් කලාවක්, නව නිපැයුම් කලාවක් තිබිණි. අරුම පුදුම තාක්ෂණයකින් සැකසුණු සීගිරිය නූතන ලෝකය පවා විශ්මයට පත්කරවනසුලුය.ඇ

පැරණි ශ්‍රී ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අතිදැවැන්ත නිර්මාණයකි.

කෙසේ වෙතත් කාලානුරූපීව මෙරටින් මෙකී හැකියාවන් ක්ෂය වී ගොස් තිබේ. නොඑසේ නම් එවැනි හැකියාවන් ඔප්නැංවීමට අවැසි සහායක් නොලැබී ගොස් තිබේ. එහෙත් සියලු පීඩා මැද වුවත් අප්‍රමාණ කැපවීමෙන් කටයුතු කොට නව නිපැයුම් කරන අතළොස්සක් මෙරට තවමත් ඉතිරිව සිටිති. අවශ්‍ය වන්නේ ඔවුනට පෙරට එන්නට අතදීමය. රටේ සම්පත්වලින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා නව නිපැයුම් කෙරේ යොමු විය යුතු බවට තර්කයක් නැත.

නව නිපැයුම් සහ තාක්ෂණය සමඟ කටයුතු කරන සියලු රටවල් ලොව ඉදිරියෙන්ම සිටින රාජ්‍යය බවට පත්ව තිබේ. ඊශ්‍රායලය ලෝකයේ ඇති පැරණිම වගේම නවතම රාජ්‍යයක් ලෙස හඳුන්වාදිය හැකි රටකි. එතෙක් මෙතෙක් ලොව අරුම පුදුම තාක්ෂණික නිෂ්පාදන ගොන්නක පේටන්ට් අයිතිය හිමි වන්නේ මේ කුඩා රටේ මිනිසුන්ටය. හතරවටින් එන ආක්‍රමණ සියල්ල ආපසු හැරවිය හැකි ශූර යුද කලාවක් ඔවුන් සතුය. නවීන තාක්ෂණය මොනවට යොදාගෙන කාන්තාර බිමක වගා කිරීමට තරම් ඔවුන් නවීනත්වයෙන් පිරිපුන්ය. මුහුදු ජලය බීමට හැකි ලෙස සකසා ලෝකයට අලෙවි කිරීමට තරම් ඔවුන් දක්ෂය. මේ සියල්ල වෙනුවෙන් ඔවුන්ගේ ආණ්ඩු ලබා දෙන සහාය අතිවිශාලය. ඔවුන් තවමත් සොයාගෙන නැත්තේ 'අමරණීය වීමේ ප්‍රතිකාරය' පමණක් බව කියැවේ. ලොව පවත්නා ඉතාම කුඩා රටක් දුෂ්කරතා ජය ගන්නේ එසේය. ඒ අතින් ගත් කල ශ්‍රී ලංකාව සොබාවික සම්පත් අතින් සශ්‍රීක බිමකි. නොකළ හැක්කක් නැති තරමට සම්පත් මේ කොදෙව්වේ වේ. අවැසි වන්නේ මඟපෙන්වීම හා දිරි දීමය.

මෑත අවස්ථා කිහිපයකදීම මෙරට නව නිපැයුම්කරුවන් 'නව නිෂ්පාදන' සිදු කළ අවස්ථා අසන්නට ලැබිණි. එවැනි නව නිපැයුම්කරුවන් ආරක්ෂා කිරීම උදෙසා රජයේ මැදිහත් වීම අතිශයින් වැදගත්ය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට මෙවැනි කටයුතුවලදී අතිමහත් වගකීමක් පැවරේ. මක් නිසාද යත් රටක ප්‍රගමනයට සේම ලෝකයේ චිර පැවැත්ම උදෙසා නව නිපැයුම්කරුවන් අනගි මෙහෙවරක් ඉටු කරන නිසාය.

මාතෘකා