හරි තැනින් පටන් ගමු

හරි තැනින් පටන් ගමු

නිදහසින් පසු ශ්‍රී ලංකාව ගැන වඩාත්ම කතාබහට ලක්ව තිබෙන්නේ ක්‍රීඩාව හේතුවෙනි. ඒ හැර අතීතකාමී පුරසාරම් කතා වමාරමින්, එයින් ලබන උද්දාමය විනා ඉඳිකටුවක දෙයක් රටක් ලෙස අප නිපදවා නැත. ලැබූ සීමිත ජයග්‍රහණ බොහොමයකම හිමිකම ක්‍රීඩාව නිසා වන අතර, එයිනුත් වැඩි ගෞරවය හිමි වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටය. එයින් ලද කීර්තියේ කූඨප්‍රාප්තිය 96 ලෝක කුසලාන ජයග්‍රහණයයි.

එහෙත් එයද අද වනවිට ඉතිහාසගත පුරාවෘත්තයක් පමණක් බවට පත් වෙමින් තිබේ.

නව ක්‍රීඩා අමාත්‍යවරයා පත්වන්නේ මෙරට ක්‍රීඩාව සම්බන්ධව දීප්තිමත් ආලෝකයක් නැති තත්ත්වයක් තුළය. ජවන හා පිටිය ක්‍රීඩා සම්බන්ධව ඉතා සිහින් ආලෝක පුංජයක් හැරුණුකොට සැලකිය යුතු ප්‍රගතියක් නැත. දැල්පන්දු ආසියානු ශූරතාව හැරුණුකොට මෑත කාලීනව කණ්ඩායම් ක්‍රීඩා තුළින්ද ලද කතා කළ හැකි මට්ටමේ ජයග්‍රහණයක් නැත.

ක්‍රිකට් ක්‍රීඩාව සහමුලින්ම නින්දා සහගත පරාජයන්ගෙන් පිරී පවතින අතර ජයග්‍රහණයක් දෙකක් ලබා ගන්නේ අහම්බෙන්, කලාතුරකින්ය.

ක්‍රිකට් ක්‍රීඩාවේ වසන්ත සැණකෙළිය මැයි මාසයේ ආරම්භ වේ. ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියෙහි පවතින පළමු අභියෝගය එයයි. එක් වරක් ලෝක කුසලානයේ ජයග්‍රහණයත් කිහිප වරක් අවසන් මහා තරගය දක්වා පැමිණි ඉතිහාසයකුත් අප සතු වෙයි.

96 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් පිඹුරුපත් සකසා තිබෙන්නේ වසරක පමණ පෙර සිටය. එහෙත් මෙවර ලෝක කුසලානයට තවමත් ඉතිරිව තිබෙන්නේ මාස 5ක් පමණි.

ලෝකය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධව ප්‍රචලිතව පවතින්නේ නොසිතූ ඉක්මනින් දියුණු වන කණ්ඩායමක් කියාය. ඒ 'තක්සේරුව' හැරපියා වෙනත් සුවිශේෂී තත්ත්වයක් මේ වනවිට මෙරට ක්‍රිකට් අරබයා දකින්නට නැත.

මෙරට ක්‍රිකට්‌ ආයතනය අන්ත දූෂිත ආයතනයක්‌ බවට චෝදනා එල්ල වී තිබේ. වරෙක මෙරට සිටි ක්‍රීඩා ඇමැතිවරයකු වූ සී.බී. රත්නායක විසින් හඳුන්වාදෙන ලද ලංකාවේ දූෂිතම ආයතන අතරින් පෙරමුණ ගන්නේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාය.

වෙනත් රටවල ක්‍රිකට් දූෂණවලට සම්බන්ධ වූ ඕනෑම බලවතකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනී. වරෙක ඉන්දියාවේ අයි.පී.එල් ප්‍රධානියෙකු වූ ලලිත් මෝඩි අත්අඩංගුවට ගත්තේ බෙල්ලෙන් අල්ලාගෙනය. කොංග්‍රස් පක්ෂයේ ප්‍රබල නායකයකු පවා ක්‍රිකට් දූෂණ හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇත.

එහෙත් මෙරට සිදුවන්නේ කුමක්ද? දූෂිතයින් යහතින් වැජඹීමය.

එහෙත් දූෂණ දැක දැක ඇස් වසාගෙන සිටි ක්‍රීඩා අමාත්‍යවරු මෙරට සිටි බව සිහිපත් කළ යුතුය. අද ක්‍රිකට් මෙතරම් අභාග්‍යසම්පන්න තැනකට පත්ව තිබෙන්නේ ඒ හේතු නිසාය.

ක්‍රීඩාව යනු ක්‍රිකට් පමණක් නොවේ.

තර්කයක් නැත, මෙරට ක්‍රීඩාව විනාශ වූයේම පරිපාලනයේ වරදිනි. ක්‍රීඩා ඇමතිවරුන්ගේ දැක්මේ මෙන්ම ක්‍රීඩා සංගම් ප්‍රධානින්ගේ වරදද ඊට එකතු විය යුතුය. කාලෙන් කාලයට ක්‍රීඩා සංගම් සඳහා තම හිතවතුන් දමාගෙන කළ තක්කඩි ක්‍රියා පිළිවෙත මෙරට ක්‍රීඩාවට 'මාරාන්තික' මුෂ්ටි ප්‍රහාර එල්ලකොට තිබේ.

2020 දකුණු ආසියා සහ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වෙයි. අපගේ ඉලක්ක කවරේද?

පදක්‌කම් නියඟයෙන් කේඬෑරී වී ඇති දේශීය ක්‍රීඩා නැංවීම උදෙසා බිම් මට්ටමේ සිට ප්‍රශස්ත සහ 'බර' වැඩපිළිවෙළක් අවශ්‍යය. පාසල් ක්‍රීඩා, යෞවන ක්‍රීඩා, මහවැලි ක්‍රීඩා, ජාතික ක්‍රීඩා මුල සිටම නැංවීම කළ යුතුය.

සාම්ප්‍රදායික අලස බව රැඳුණු බිත්ති හතරකින් වටවූ ගොඩනැඟිල්ලකට සීමා වී තිබෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්යභාරය මහ පොළවට රැගෙන යා යුතුය. සාමාන්‍යයෙන් පාසල් ක්‍රීඩා වකවානුවට මෙරට රෝහල් සූදානම් ශරීරයෙන් තැබිය යුතු මට්ටමට පත්ව තිබෙන්නේ ඒ තරමටම දරුවන් 'පෝෂණයෙන්' සවිමත් නිසාය.

පාපන්දු අරබයා අපට තිබෙන්නේ ආලෝක වර්ෂ ගාණක් දුර සිහිනය. ජීවිකාවට පලා විකුණමින් නිවාඩු වෙලාවේ පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගෙන් මහා විජයග්‍රහණ බලාපොරොත්තු වීම සාධාරණද?

ඔලිම්පික් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් ගෙන ආවේ ඩන්කන් වයිට් ය. ඔහුගෙන් පසු ඔලිම්පික් පදක්කමක් නැවත දිනා ගත්තේ දශක පහකට පසුවය.

ජයග්‍රහණ සොයා යාම පහසු නැත. එහෙත් නිෂ්චිත වැඩපිළිවෙළක් සහ ඉවක් ඔස්සේ වෘත්තීය මට්ටමේ කැපවීමක් කළොත් කේඬෑරි පොළොවක වුවද රන් අස්වනු වපුල හැකිය.

අන්දවන්නන්ගෙන් සහ කකුල් මාට්ටු දමන්නන්ගෙන් බේරී, ප්‍රශස්ති වයන්නන්ගෙන් සහ කේලාම්කරුවන්ගෙන් බේරී නව අමාත්‍යවරයාට 'තීන්දු' ගන්නට හැකි වුවහොත් ජයග්‍රහණ සෙවීම අපහසු නැත.

රගර් ක්‍රීඩකයෙකු වන ක්‍රීඩා අමාත්‍යවරයාට මේ උගුල්වලින් බේරෙන්නට බැරි නම් වෙනත් කිසිවෙකුටත් එය කරන්නට හැකි වන එකක් නැත.

මාතෘකා