පාසල් නිල ඇඳුම් ලබා දීමේ විධිමත් ක්‍රමයක්

පාසල් නිල ඇඳුම් ලබා දීමේ විධිමත් ක්‍රමයක්

ජනවාරි 02 වැනිදා 2019 වසරේ නව පාසල් වාරය ඇරඹෙයි. මෙවර විශේෂත්වය වන්නේ සිරිත් පරිදි ලැබෙන පාසල් නිල ඇඳුම් දරුවන්ට නොලැබීමය. ඊට හේතුව තුන්වැනි වාරය අවසානයේ අදාළ වවුචර් නොලැබීමය. නීති විරෝධී අයුරින් පත් කළ අගමැතිවරයාගේ හදිසි තීන්දුවක් අනුව එතෙක් පැවති වවුචර් ලබා දීමේ ක්‍රමය අහෝසි කර නිල ඇඳුම් ලබා දීම යළි ආරම්භ විය. එහෙත් එය ක්‍රියාත්මක කළ නොහැකි විය. එය දින කිහිපයකින් ක්‍රියාත්මක කළ හැක්කක් නොවේ. වවුචර් ලබාදීමේ ක්‍රමය එතරම් ජනප්‍රිය නොවූ හෙයින් එහි වාසිය ගැනීම නව තීන්දුවට බලපෑවේය.

ජනප්‍රිය ක්‍රමයක් නොවූවද වවුචර් ක්‍රමය හඳුන්වා දුන්නේ දූෂණය අවම කිරීමේ මඟක් හැටියටය. ද්‍රව්‍යාධාර ලබා සතුටු වීමේ චින්තනය සමාජගත වී තිබූ හෙයින් වවුචර ක්‍රමයට දැඩි විවේචන එල්ල විය. රෙදි ලබා දීමේ ක්‍රමය ක්‍රියාත්මක වූයේ දූෂිත ආකාරයෙනි. අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් කොටසක් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරිණ. අනෙක් කොටස සපුරන ලද්දේ ආනයනික රෙදි වර්ණ ගැන්වීමෙනි. මෙහිදී ප්‍රමිතියෙන් තොර රෙදි ආනයනය කිරීම සිදුවිය. පාසල් නිල ඇඳුම් ලබාදීම දූෂිත වැඩපිළිවෙළක් බවට පත් වීම අවාසනාවන්ත තත්ත්වයකි. එය ආරම්භ කළ සුධීමතාගේ නමටද කැළලකි.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා 1991දී පාසල් නිල ඇඳුම් නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේ නිල ඇඳුම් මිලදී ගැනීමේ හැකියාව පවා නොමැති දරුවන්ට සහනයක් ලබා දීමේ අරමුණෙනි. වර්ගීකරණයකින් තොරව සියලු පාසල් ළමෝ මෙහි ප්‍රතිලාභියෝ වූහ. නිල ඇඳුම් මිලදී ගැනීමේ දුෂ්කරතාව නිසා පාසල් යෑමේ වරම අහිමිවූ බොහෝ දරුවන්ට මෙය අස්වැසිල්ලක් විය. මෙහිදී හිටපු ජනාධිපතිවරයා මෙය පවිත්‍ර චේතනාවකින් ආරම්භ කළ බව විරුද්ධවාදියෝ පවා පිළිගනිති. එමෙන්ම ඇතැම් විරුද්ධවාදියෝ ප්‍රේමදාස මහතාට අපහාස කිරීමටද මෙය යොදාගත්හ.

ආණ්ඩු බලය කා අතට ගියද විවේචන පසෙක ලා කවුරුත් මේ ක්‍රමය පවත්වාගෙන ගියහ. මෙය තමන්ගේ දේශපාලන ප්‍රචාරයට යොදා ගැනීමටද ඇතැම්හු උත්සාහ කළහ. බාල රෙදි ආනයනය සහ ටෙන්ඩර් මගඩි ඔස්සේ මෙය මුදල් ගසා කෑමේ මඟක් බවට පත් කර ගැනීමටද ඇතැම්හු උත්සාහ කළහ.

එසේ හෙයින් දූෂණ හා අගතියෙන් තොරව මෙය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කලක සිට පැවතිණ. වවුචර් ලබාදීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එය එතරම් ජනප්‍රිය නොවුවද ගැටලු බොහොමයක් නිරාකරණය විය. එහෙත් සළුසලෙන් රෙදි ලබාදීම අසාර්ථක වීම අනුව පුද්ගලික ව්‍යාපාරිකයකු මඟින් සළුසලට රෙදි ලබා දීම නිසා ටෙන්ඩර් ගැටලු ඇති විය. එමෙන්ම දුෂ්කර පාසල්වල දරුවන්ට රෙදි මිලදී ගැනීම සඳහා නගරයට යෑමට සිදුවීමද නරකට බලපෑවේය. එහෙත් මෙබඳු දෝෂ නිසා රෙදි වෙනුවට වවුචර් ලබා දීමේ ක්‍රමය වැරදි යැයි කීමේ හැකියාවක් නැත.

ආණ්ඩු බලය කොල්ලකෑම සිදු කළ වහාම සංවේදී මාතෘකාවක් වූ නිල ඇඳුම් ප්‍රශ්නයට අත ගැසීමට පෙර කළ යුතුව තිබුණේ තිබුණු ක්‍රමයෙහි අඩු පාඩු නිවැරදි කිරීමය. එහෙත් එබඳු අරමුණක් නොතිබූ බව පැහැදිලිය. තිබී ඇත්තේ වෙනත් අරමුණුය. එනම් ලාභ ජනප්‍රියත්වය හා යටිමඩි ගැසීම්ය.

ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් පරදවා නීත්‍යනුකූල ආණ්ඩුවක් පිහිටුවන විට පාසල් වාරය අවසන්ය. වවුචර් ක්‍රමය නැවත හඳුන්වා දීමේ පූර්ණ වාසිය ගැනීමේ අවස්ථාව සිසුන්ට නොලැබිණ. මේ නිසා වවුචර් මඟින් රෙදි ලබා ගැනීමේ කාලය පෙබරවාරි දක්වා දීර්ඝ කර තිබේ. මෙය හොඳ තීන්දුවකි.

මේ සමඟ සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක්ද වේ. එනම් දූෂණයට වැට බඳින අතර රෙදි ආනයනය මත මුළු බර නොතබා දේශීය නිෂ්පාදකයන්ට නිල ඇඳුම් රෙදි නිපදවීමේ අවස්ථාව ලබා දීමය. ඒ මඟින් දැනටමත් අභාවයට යමින් පවතින දේශීය රෙදි පිළි කර්මාන්තයට පණක් දීමය. එයින් යැපෙන ශිල්පීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමය. රෙදි නිෂ්පාදනයට බාධාවක්ව ඇති නූල් නිපදවීම සඳහා වියදම් අඩු කිරීමේ මාර්ග සැකසිය යුතුය. බාල රෙදි ආනයනයට වඩා එය අතිශයින් වැදගත් වෙයි.

මාතෘකා