ණය අභියෝගය

ණය අභියෝගය

ණය බරින් පීඩිතව සිටින සමහරු ඔහු ඉන් මිදෙන්නට මඟක් නැති විට කරනුයේ සියදිවි නසා ගැනීමය. ශ්‍රී ලංකාවට රාජපක්ෂ යුගයෙන් උරුම වූ ඩොලර් කෝටි 3,600ක ණය කන්දක් තිබේ. එහෙම බැලූ විට රට සිය වරකට වඩා සියදිවි නසා ගන්නා තරමේ උවදුරක සිරවී තිබිණි. තෙවසරක් තිස්සේ 'යහපාලන' ආණ්ඩුවට සිදුවූයේ එකී තොණ්ඩුවෙන් රට ගලවා ගැනීමට උපාය උපක්‍රම සැකසීමටය.

පසුගිය පාලනයන් තුළදී ලබාගත් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන එකක දැවැන්ත ණය මුදලක් පසුගියදා (14) ආපසු ගෙවා දමමින් ශ්‍රී ලංකාව මේ වසරේ ණය ගෙවීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙළේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරකදී ගෙවිය යුතු වැඩිම විදේශ ණය ප්‍රමාණය මේ වසරේ සිට ඉදිරි 2023 වසර දක්වාම ගෙවීමට රජයට සිදු වී තිබේ.

සුද්දාට මොනතරම් ශාප කළද ඔහු යන විට ඉතිරි කළ බොහෝ දේ තිබිණි. ඒ සියල්ලට වඩා රටක් හැටියට ණයක් නැතිව සිටිය හැකි වටපිටාවක් තිබිණි. සේනානායක සමුද්‍රය පවා එතෙර ආයෝජන කිසිවක් නැතිව ගොඩනැඟීමේ ශක්තිය නිදහසට පෙරත් ශ්‍රී ලංකාව සතුව පැවැතිණි.

ස්වාධීනව ශක්තිමත්ව තිබූ ආර්ථිකයක් නාය ගිය තැනට පත් වන්නේ අපේම වරදිනි. දේශපාලන බල අරගල විසින් 'අදූරදර්ශී' සුබසාධන රටාවන් හඳුන්වා දීමත්, ජාතික ප්‍රතිපත්ති වෙනුවට දේශපාලන න්‍යායපත්‍ර මත කටයුතු කිරීමත් හේතුවෙන් සිදු වූ ව්‍යසනය සුළුපටු නොවෙයි. අවස්ථා කිහිපයක හැරුණුකොට කාලයක් තිස්සේම මෙරට ආර්ථිකය බලවත් උවදුරු රැසකින් පීඩා වින්ද බව නොරහසකි. මුළු රටම කාපට් සහ කොන්ක්‍රීට් බිමක් කිරීම පමණක් ස්වකීය අභිමතය කොටගත් ඉකුත් රාජපක්ෂ යුගය එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම ණයක්, අධිකම පොලියට ගත් වකවානුවක් ලෙස සැලකේ.

දුරදිග නොබලන ආර්ථික 'සෙල්ලමේ' විපාකයක් ලෙස උද්ධමනයෙන් පිරි රටක් මහින්ද යුගයේ ක්‍රියාත්මකව තිබිණි. යුද්ධය පැවති වකවානුවේදී පවා දෙගුණ නොවූ රාජ්‍ය ණය බර යුද්ධයෙන් පසුව බිලියන 3,220කින් ඉහළ යෑම දක්වා එකී ව්‍යසනය බරපතළ විණි. 2005 වසරේදී සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,222ක් වූ අතර යුද්ධය අවසන් වන විට, එනම් 2009 වසර අවසාන වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,161ක් දක්වා වැඩි වී තිබිණි. මේ කාලය තුළ රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 1,939ක ප්‍රමාණයකින්ය. එසේ වුණත් 2014 වසර අවසානය වන විට සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක් දක්වා වර්ධනය වී තිබිණි.

2009 වසරේ සිට 2014 වසර වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,230කින් වැඩි වී තිබිණි. මේ අනුව 2005 වසරේ සිට 2014 වසර වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,169කින් වැඩි වී තිබීම විමතියකට කරුණකි. වත්මන් ආණ්ඩුවට එරෙහිව 'ගජමිතුරු' ආර්ථික චෝදනාවක් එල්ල කරන පසුගිය රජයේ කොටස්කරුවෝ මීට තෙවසරකට පෙර පැවැති 'ගජමිතුරු, නෑදෑ' ආර්ථික නාඩගම අමතක කොට දමති. වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ

ඥාති - ගජ මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් රටට උදා කළ ව්‍යසනය සුළුපටු නොවේ. කොන්ක්‍රීට් සහ කාපට් උදෙසා කෝටි ප්‍රකෝටි ගණන් ධනස්කන්ධයක් වැය කළ රාජපක්ෂ යුගය ඉන් ගජමිතුරන්ට සෙත සැලසූ ආකාරය අපුල දනවනසුලුය.

දූෂිත මිග් යානා ගනුදෙනුව, රාජ්‍ය වියදමෙන් මවුපියන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම, මාධ්‍යවේදීන්ට පහරදීම හා අතුරුදන් කරවීම, දූෂණය භීෂණය පැතිරවීම, නීති විරෝධී අවි ගබඩා මඟින් රජයට අය විය යුතු ආදායම් අහිමි කිරීම වැනි බොහෝ දේ පසුගිය පාලකයන් විසින් සිදුකොට තිබිණි. වත්මන් ආර්ථිකය ව්‍යසනයක් ගැන 'භීතියක්' මවාපාන ඊනියා ආර්ථික විශ්ලේෂකයන් ප්‍රධාන කරුණු කිහිපයක් අමතක කොට දමති. 1948 නිදහසෙන් පසුව වැඩිම විදේශ ණය සඳහා ගෙවීම් සිදුවූයේ 2018 වසරේදීය. එම මුදල ඇ.ඩො. මිලියන 2,845ක් වන අතර ඉන් ඇ.ඩො. මිලියන 1,789ක්ම 2015 වසරට පෙර ලබාගත් ණය වාරිකයන්ය.

2015ට පසු ලබාගත් ණය සඳහා ගෙවීමට ඇත්තේ ඇ.ඩො. මිලියන 1,056ක් පමණි. මේ අනුව බලන කල මෙම වසරේ පියවීමට ඇති ණය වාරිකවලින් 63%ක්ම ගෙවීමට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලයේ ණය සඳහාය. රුපියල් දෙදහස් පන්සියයෙන් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් බැව් පුන පුනා කී ආර්ථික 'ඔස්තාර්ලා' කෙටිකාලීන ඉතිහාසය සැණෙකින් අමතක කොට තිබේ.

මාතෘකා