උසස් බාලිකාවන්ට මල් මිටක්

උසස් බාලිකාවන්ට මල් මිටක්

ජයලත් මනෝරත්නගේ 'ගුරු තරුව' වේදිකා නාට්‍යයේ අපූරු සංවාදයක් හමුවෙයි.

ඒ මෙසේය.

මුල් ගුරුතුමා - හැබෑවටම මහත්තයො දැන් ඔය මැටි වැඩ අරව මේවා ඉගෙන ගත්තොත් ඔය කළගෙඩියක් මුට්ටියක්වත් හදාගන්න පුළුවන්. ඔය සාහිත්‍යයම ඉගෙනගෙන මොනවද කරන්නේ?

සාහිත්‍ය ගුරුතුමා - සාහිත්‍යයෙන් නේද? (කෝපයෙන්) සාහිත්‍යයෙන් කරන්නෙ, ඔය කෙළින් කරල තියන කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරෝගන්නවද අසූචි පුරෝගන්නවද කියලා තෝරලා බේරලා ගන්න එක.

සාහිත්‍ය වනාහී එවැනි අර්ථකථනයක් දිය හැක්කකි. 'සාහිත්‍යය ආහාර පිණිසදැයි?' ඇසූ සමහරු සිටින රටක මහනුවර උසස් බාලිකාවෝ උසස් කටයුත්තක් සිදු කිරීමට සූදානම්ව සිටිති.

ඒ පොත් පන්සියයක් ජනගත කිරීමේ කෘතහස්ත කටයුත්තයි.

කෙටිකතා, නවකතා, ගීත, කවි සහ විවිධ අංශ නියෝජනය කරමින් සිසුවියන් විසින් මෙම කෘති පන්සියය නිර්මාණය කර මුද්‍රණය කර තිබීම මෙහිදී බෙහෙවින්ම සුවිශේෂය.

කියවීමට මරු පහරක් එල්ලවී ඇතැයි ඇතැමුන් කියන යුගයක සාහිත්‍ය යනු ඒ තරම් වැදගත් දෙයක් නොවේයැයි සමහරු පාරම්බාන යුගයක උසස් බාලිකාවියෝ ගත් වෑයම ප්‍රශංසා කටයුතුමය.

කියවීම කෙරෙහි බලපාන සමාජ ආර්ථික බාධා ගණනාවක්‌ ඇත. පවත්නා අවිවේකී ජීවන රටාව එක්‌ ප්‍රධාන බාධාවකි. කියවීම ජනතාවගෙන් ඈත් වීමට මෙම තත්ත්වය බලපා ඇත. ජීවිතය උදෙසා හැල්මේ දිවයෑම හේතුවෙන් නිදහස්‌ මනසකින් කටයුතු කිරීමට ඇති අවකාශ ඉතා සීමිත වී ඇත. එමෙන්ම රූපවාහිනිය, වීඩියෝ පට වැනි විද්‍යුත් මාධ්‍ය කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වීම, කියවීම දුරස් කිරීමට හේතුවී තිබේ. කෙසේ වෙතත් නව තාක්ෂණික පහසුකම් හේතුවෙන් ඇතැම් අවස්ථාවල කියවීම වර්ධනයට කිසියම් රුකුලක් ලැබී තිබේ. ඊ බුක් වැනි නවීන කියවීම් කලාවට නව පරපුරේ බොහෝ දෙනා සමීප වෙමින් තිබීම යහපත්ය.

අනෙක් අතට ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල පොත්පත් ලබා ගැනීමට අවස්‌ථා නොමැති වීම කියවීම වර්ධනයට බාධාවකි. නිවසේ පරිසරයද කියවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපායි. දරුවන්ගේ කියවීම වර්ධනය සඳහා නිවසේ සාමකාමී පරිසරයක්‌ තිබිය යුතුය. පොත්පවල අධික මිල ගණන්ද සාමාන්‍ය ජනතාව කියවීමෙන් දුරස්‌ වීමට බලපා ඇත.

රටක හෝ ජාතියක දිශානතිය තීරණය කරනුයේ ඒ රටේ හෝ ජාතියේ ප්‍රතිභාව සහ දෘෂ්ටියේ ප්‍රමාණය අනුවය. සාහිත්‍ය, රසවින්දනය, කලාව අහිමි රටක ජීවිතය අන්ධකාර ආවාටයකි.

හෝඩි පොතක් හෝ නැතිව ලෝකයෙන් හුදකලාව බුද්ධිහීනව, ගොපලු ජීවිත ගෙවූ කිර්ගීසියාවේ මිනිසුන්ට බොල්ෂෙවික් විප්ලවයෙන් ලැබුණු මාහැඟි දායාදය අධ්‍යාපනයයි. ඔවුන්ගේ සිහිනය වූයේ එතෙක් කොන්වී තිබූ කිර්ගීසියාව සාහිත්‍ය තිඹිරිගෙයක් බවට පත් කිරීමටයි.

“නුදුරු අනාගතයේදීම අතිදක්ෂ ලේඛකයන් එක්දාස් පන්සීයක් විතර බිහිවේය කියල අපි බලාපොරොත්තු විය යුතු නැහැ. නමුත් අපගේ සංගමය හේතුකොටගෙන, එවැනි දක්ෂ ලේඛකයන් පනහක් බිහිවේය කියල අපි හිතමු. මේ පනස් දෙනාගෙන් අසමාන ධී ශක්තිය තියෙන පස් දෙනෙක් හිටීවි කියල අපි හිතමු. ඉතිරි හතළිස් පස්දෙනා දක්ෂ ලේඛකයන් වුණහම හොඳටම ඇති....”

1934 අගෝස්තු 17 වැනිදා ‍ මැක්සිම් ගෝර්කි කළ ප්‍රකාශය ඔහු ජීවත්ව සිටියදීම සැබෑ වීම අරුමයකි.

පුෂ්කින්, ගොගොල්, චෙකොෆ්, දොස්තයෙව්ස්කි, තෝල්ස්තෝයි, කුප්රීන්, තුර්ගිනිෆ්, බුනින්, ගොන්චාරෙව්, ලර්මන්තොව්, ගෝර්කි යනාදී සද්දන්ත සාහිත්‍යධර කුලකයට ෂෝලහොව්, පැඩින්, පවුස්තොව්ස්කි, ලියනිඩ් ලියනෝව්, ඔස්ත්රොයව්ස්කි, බන්දාරොව්, තිකනෝව්, සිමනෝව්, ගම්සාතොව්, රස්පුටින්, රිටිකියු, යෙව්ෂෙන්කෝ, අයිත්මාතොව් වැනි සාහිත්‍ය බලකණු ගොන්නක්ම කොළපාට තණ පිරුණු රටක බිහිවන්නේ ඔවුන්ගේ තුන්කල් දක්නා මතවාද නිසාය.

රටකට අවැසි එවන් ආකල්පය.

මෙවන් අවකාශයක් තුළ උසස් බාලිකාවන් ගත් වෑයම කාලෝචිත වෙනවා සේම ඒ සඳහා ඔවුන්ව යොමු කළ සියලු දෙනාට කෘතවේදී විය යුතුය.

මාතෘකා