මාර්ග අනතුරුවලින් පෙනෙන විනය ප්‍රශ්නය

මාර්ග අනතුරුවලින් පෙනෙන විනය ප්‍රශ්නය

විනයක් නැති රටක් හැදීම අසීරු යැයි කවුරුත් කියති. එසේ කියන්නෝම විනය කඩති. එසේ නම් විනයක් ඇති කිරීම සඳහා කැපවීම රටවැසියන් හැටියට කොයි කාගේත් වගකීමකි. මාර්ග නීති ආරක්ෂා කිරීම අතින් රියැදුරන්ට, මගීන්ට හා සෙසු සියලු පාර්ශ්වයන්ට ඇත්තේ නොපටු වගකීමකි. එය එසේ සඳහන් කරනුයේ මාර්ග අනතුරු නිසා දිනපතා සිදුවන ජීවිත හා දේපළ හානි පිළිබඳ වගකීම හුදු බස් රථ රියැදුරන්ට පමණක් පැවරෙන්නේ යැයි සිතා අත පිසදා ගැනීමේ හැකියාවක් කිසිවකුට නොමැති හෙයිනි.

මාර්ග අනතුරු නිසා දශලක්ෂයකට වැඩි පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීම අපේ රටේ යථාර්ථයයි. මෙය බිහිසුණු තත්වයකි. බොහෝ දුෂ්කරතා මැද යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යෑම සඳහා උත්සාහ දරන රටක් හැටියට මෙය ඉතා නරක ලක්ෂණයකි. මේ සියලු වියදම් දැරිය යුත්තේ රජය විසිනි.

වාර්ෂිකව සිදු වන රිය අනතුරු සංඛ්‍යාව 3500- 4000 පමණ වේ. මෙයින් 2500ක් පමණ මාරක අනතුරුය.

දිනකට වැඩිම සංඛ්‍යාවක් මිය යන්නේද රිය අනතුරු හේතුවෙනි. අධික වේගයෙන් රිය ධාවනය කරවීම, බීමත්කම, ජංගම දුරකථන භාවිතය සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම රිය අනතුරු ඇති වීමේ ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක. එමෙන්ම මෙම අනතුරුවලින් වැඩි හරියක් සිදුවන්නේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි මගින් බව අනාවරණය වේ.

මාර්ග අනතුරු නිසා අහිමි වන ජීවිතවල වටිනාකම මිල කළ නොහැක. ආබාධිත තත්වයට පත්වන්නෝ ජීවිත කාලය පුරා දුක් විඳිති. ප්‍රතිකාර ලබන්නන් සඳහා වියදම් දැරීම දුෂ්කර කටයුත්තකි.

මාර්ග නීති කඩකිරීම රියැදුරන්ගේ පාර්ශ්වයෙන් බැලූ කල ගැටලු රැසක් ඇති කරයි. එනම් ඔවුන් ඒ තත්වයට පත්වීම කෙරෙහි බලපෑ කරුණු ගණනාවකි. ඉන් එකක් නම් ආත්මාර්ථකාමය ඔස්සේ පැන නැඟුණු තරගකාරිත්වයයි. මේ වනාහී පුළුල් සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව හඬගා කීමකි.

රියැදුරන්ගේ බීමත්කම භයානක සමාජ උවදුරකි. විශිෂ්ට කලා ශිල්පියකු වන විමලරත්න අධිකාරී විසින් කරන ලද පර්යේෂණයකට අනුව අනාවරණය වී ඇත්තේ ඇතැම් රියැදුරන් මත්කුඩු භාවිතයටද හුරු වී ඇති බවය. රියැදුරන්ගේ අධික වේගයට බලපාන සමාජීය සාධකද පවතී. එනම් දේශපාලන ප්‍රභූවරුන් ආරක්ෂකයන් පිරිවරා මහමඟ අයිතිකරුවන් සේ ගමන් කරන විට මගීන් කානුපල්ලටද අනෙක් සියලු වාහන පාර අයිනටද වැටේ. කිසිදු මාර්ග නීතියක් එහිදී අදාළ නොවේ. දෛනික වැටුපට වැඩ කරන දුප්පත් රියැදුරන්ට බලය පෙන්වන පොලිස් නිලධාරීහුද ඔවුන් ඉදිරිපිට මුනිවත රකිති.

මෙහිදී "උන්ට නැති නීතියක් අපට මොකටදැයි" සිතා කටයුතු කරන රියැදුරන්ද සිටිය හැකිය. මෙය කිසිසේත්ම සාධාරණ සිතුවිල්ලක් නොවේ. මන්දයත් රියැදුරාගේ එක් නිමේෂයක අතපසු වීමකින් තවත් ජීවිත ගණනාවක් අනතුරට ලක් විය හැකි බැවිනි.

මාර්ග නීති ඉගැන්වීමට සමාන්තරව මනුස්සකමේ පාඩම ඔවුන්ට ඉගැන්විය යුතුය. එසේ ඉගැන්වීම සඳහා සුදුස්සෝ සිටිත්ද නැද්ද යන්න වෙනම කතාවකි.

එහෙත් තමන් කුමන වෘත්තියක නියැළුණද තමන්ගේ ජීවිතය මෙන්ම අන්‍යයන්ගේ ජීවිතද ආරක්ෂා කිරීමට බැඳී සිටින බව රියැදුරන් පළමුව සිතට ගත යුතුය. ඒ සඳහා තම හෘදය සාක්ෂිය හඳුනාගත යුතුය. රට වැසියන් හැටියට බොහෝ අයට සිදු වී ඇති බලගතු විපත වන්නේද හෘද සාක්ෂිය හඳුනාගෙන ඒ අනුව කටයුතු නොකිරීමේ ගැටලුවයි. නීති හදන්නෝ ද නීති කඩති. අනුන්ට බණ කියති. යහපත් රටවැසියකු නිර්මාණය වන්නේ පූර්වාදර්ශ මගිනි. ඒ සඳහා තමන් අනුන්ට ආදර්ශයක් වීම සෑම වෘත්තීය ක්ෂේත්‍රයක් නියෝජනය කරන්නන්ගේම වගකීම හා ජීවන චර්යාව විය යුතුය.

මාතෘකා