සංක්‍රමණික දවල් සිහින

සංක්‍රමණික දවල් සිහින

මිනිස්සු ස්වකීය ජීවිත කාලය තුළ විවිධ සිහින දකිති. එකී සිහින අතර වඩා ඉදිරියෙන් තිබෙන්නේ 'සුඛෝපභෝගී ජීවිතයක්' ළඟා කර ගැනීමේ සිහිනයයි. ඒ උදෙසා අනවරත වෑයමක යෙදෙන මිනිසා එකී සිහිනය දිනනු රිසින් ජීවිත අරගලයක යෙදේ.

තුන්වැනි ලෝකයේ රටවලින් පලාගොස් යුරෝපා රටකට ඇතුළුවීමේ බරපතළ සිහිනය බොහෝ දෙනකු තුළ තිබේ. ඒ සඳහා ගනු ලබන වෑයම කෙළවර වන්නේ ඛේදවාචකයකින් බව අතිශයෝක්තියක් නොවේ.

සරණාගතයන් යනු වෙනත් රටක සරණස්ථාන පතා යන අනවසර සංක්‍රමණිකයෝය. විශේෂයෙන්ම බටහිර සහ යුරෝපා රටවල් මුහුණදෙන බරපතළ ගැටලුවක් වන්නේ මෙම අනවසර සංක්‍රමණික ගැටලුවය.

පසුගිය වසර කිහිපය තුළ යුරෝපයට ඇතුළුවීමට උත්සාහ දැරූ විවිධ වයස් කාණ්ඩවලට අයත් අනවසර සංක්‍රමණිකයෝ දහස් ගණනක් යාත්‍රා පෙරළීමෙන් සහ වෙනත් හේතු නිසා මුහුදට බිලිවූහ. වසර කිහිපයක් තුළ භාරකරුවකු නොමැතිව යුරෝපයට අනවසරයෙන් සංක්‍රමණය වූ ළමුන් දසදහසක් පමණ අතුරුදන් වූ බව යුරෝපා සංගමයේ පොලිස් රහස් ඔත්තු සේවා අංශය වන 'යුරෝපෝල්' වාර්තා කරයි.

විවිධ අවස්ථාවල මෙවැනි අනවසර සංක්‍රමණිකයෝ සියගණනක් මරණයට පත්වූහ. 2017 වසර තුළ ඇල්ජීරියාව පමණක් අනවසර සංක්‍රමණිකයන් 13,000ක් සහරා කාන්තාරයේ අතුරුදන්කොට ඇත.

අනවසර සංක්‍රමණිකයන් මුහුණ දෙන ජීවිත අවදානම බෙහෙවින්ම භීතිය දනවනසුලුය. මුහුදු මඟින් එන්නවුන් මුහුණ දෙන ජීවිත අවදානම සියල්ලටම වඩා බිහිසුණුය. හුස්ම ගත නොහැකි ලෙස කුඩා ඉඩකඩක පටවාගෙන යන සංක්‍රමණිකයන් බොහෝ විට පිටතට ගන්නේ ප්‍රාණය නිරුද්ධ සිරුරක් ලෙසය.

අනවසර සංක්‍රමණ සම්බන්ධව යුරෝපය ඉතාම දැඩි තීන්දුවලට එළැඹ තිබේ. ඔවුන් අනවසර සංක්‍රමණිකයන්ට කිසිම සමාවක් දෙන්නේ නැති තත්ත්වයට පත්ව ඇත. වරක් සංක්‍රමණිකයන් 600ක් රැගත් ඇක්වේරියස් නැවට ඉතාලි වරායකට හෝ සේන්දු වන්නට අවසර නොලැබිණි. ඔස්ට්‍රේලියාවේ අනවසර සංක්‍රමණිකයන්ට කිසිදු බුරුලක් දෙන්නේ නැත. අපාගත වීම සැමතකැයි සිතෙන තරමේ දඬුවම් විඳින්නට අනවසර සංක්‍රමණිකයන්ට සිදු වේ. ඔස්ට්‍රේලියාවේ දොරටු වැසී ඇති බව දන්නා පිරිස් දැන් ප්‍රංශය දෙසට සිය බැල්ම දමා තිබේ. එහෙත් එය හිස් අපේක්ෂාවක් පමණක් බව තහවුරු වූයේ ප්‍රංශයට අයත් දූපතක් වන රීයුනියන් දිවයින වෙත හොර පාරෙන් ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසිහතර පැයක් යන්නටත් පෙර ආපසු හරවා එවීමෙනි. මුහුදෙන් ගොස් ගුවනින් ඒම සඳහා ඔවුන් ජීවිතකාලය පුරා උපයාගත් සියලු සන්තකය වියදම්කොට තිබිණි.

ජර්මනිය අනවසර සංක්‍රමණිකයන් නිසා පීඩාවට පත් තවත් රටකි. ජර්මනියේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී ‘ජර්මනිය සඳහා විකල්පය’ පක්ෂය ස්වකීය මැතිවරණ සටනේදී බිහිසුණු සටන් පාඨයක් භාවිතා කරන ලදී. හිට්ලර්ගේ ඡායාරූපයක් අතට ගත් එම පක්ෂයේ අපේක්ෂිකාව එක්තරා ආන්දෝලනාත්මක සටහනක් තබා තිබිණි.

‘1945 සිට ඔබ සිටින තැනක් නොදනී. කරුණාකර සිටින තැනකින් එන්න. ජර්මනියට ජර්මන් ජනතාවට ඔබ අවශ්‍යයි.’ සංක්‍රමණික ප්‍රශ්නය එතරම් උග්‍රය. නීති එතරම් දැඩිය.

මාතෘකා