මානව හිමිකම්: අපි කොතැනද?

මානව හිමිකම්: අපි කොතැනද?

එක්සත් ජාතීන්ගේ මීළඟ මානව හිමිකම් කවුන්සිල් සැසිය ගැන සුපුරුදු පරිදි මෙවරත් පෙබරවාරිය අවසානයේ පුවත් මැවෙමින් ඇත. මේ පිළිබඳ ආසන්නතම පුවත බවට පත් වූයේ එක්සත් රාජධානියේ ජිනීවා නියෝජිතයා මීළඟ මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීමයි. කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටෙන්ග්‍රෝ රටවල් සමඟ එක්ව එක්සත් රාජධානිය මෙම යෝජනාව ගෙන ඒමට නියමිතය. මෙම කණ්ඩායම දකුණු සුඩානය සහ සිරියාව සම්බන්ධයෙන්ද යෝජනා ගෙන ඒමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවේ පරමාර්ථය 2015 සිට ක්‍රියාත්මක වන මානව හිමිකම් කවුන්සිල 30/1 යෝජනාව තවදුරටත් ක්‍රියාත්මක කිරීම බව ජිනීවාවලින් වාර්තා වී ඇත.

මේ අතර මෙරට අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ, විශේෂණය සහ සමානාත්මතාව පිළිබඳ නීති අංශයේ ප්‍රධානි මෝනා ඒ රිෂ්මාවි අතර හමුවක් පසුගියදා පැවැත්විණ. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී මෝනා රිෂ්මාවිගේ ඇගයීමට ලක් විය.

එක්සත් රාජධානියේ යෝජනාව පිළිබඳ පුවත් මෙරට සමහර මාධ්‍ය 'නව ජාත්‍යන්තර අත පෙවීමක්' ලෙස හැඟෙන අයුරින් උපුටා දැක්වීමට උත්සාහ කළද සැබැවින්ම මෙහි සත්‍යය නම් එම යෝජනාව හුදෙක් 2015 සිට ක්‍රියාත්මක වන මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාවලියේම දිගුවක් බවයි.

මෙවර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ගෙන ඒමට නායකත්වය දෙන එක්සත් රාජධානිය, 2017 වර්ෂයේදී නිකුත් කළ මානව හිමිකම් සම්බන්ධ වාර්ෂික වාර්තාවෙහි මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අගයා තිබූ බවද මෙහිදී අමතක නොකළ යුතුය. එමෙන්ම මානව හිමිකම් සුරැකීම යනු 'දීර්ඝ ගමනක්' මිස 'ගමනාන්තයක්' නොවන බවට පසක් කරමින්, තවදුරටත් සංවර්ධනය විය යුතු අංශ පිළිබඳවද ඔවුන් යෝජනා ඉදිරිපත් කර තිබිණි. ජාතීන් අතර සම්බන්ධතා සහ සමලිංගික අයිතිවාසිකම් ඇතුළු කරුණු එහිදී අවධානයට පාත්‍රව තිබිණි.

ශ්‍රී ලංකාව තුළ සමලිංගික ප්‍රජාවට එරෙහිව තවදුරටත් නොසලකා හැරීම් සිදුවන බවත් විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගිකයන්ට හිරිහැර සිදුවන බවත් වාර්තාව පෙන්වා දී තිබිණි. මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ අවදානම අවප්‍රමාණ කරනු පිණිස පොලිස් සේවයේ වෘත්තිකභාවය තවදුරටත් වර්ධනය කිරීමත් ලිංගික හිංසනය සහ ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට වැට බැඳීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව පැවතිණි. මේ අතර මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා සාධනීය දායකත්වයක් ලබාදීමෙහිලා එක්සත් රාජධානිය ප්‍රමුඛතාව ලබා දෙන ('Human Rights Priority Countries'-HRPCs) රටවල් 30ක කණ්ඩායමට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇත.

ඉක්බිති ගෙවුණු වසර දෙක තුළ ආරක්ෂක අංශ සතුව පැවති උතුරේ ඉඩම්වලින් 95%ක ප්‍රමාණයක් සිවිල් ජනතාවට මුදා හැරීමට රජය කටයුතු කර ඇත. එමෙන්ම 30/1 යෝජනාවෙන් සම්මත වූ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව තිබේ. ඒ හරහා බලය විමධ්‍යගත කිරීමක් සිදු කළ යුතු බවට පොදු එකඟතාවකටද එළැඹීමට සමත්ව ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි සිරකරුවන් පුනරුත්ථාපන ක්‍රියාවලියකින් පසුව නිදහස් කර ඇත.

මේ අනුව බලන කල නව යෝජනාව කුමන දිශාවට යොමු වේවිදැයි ආසන්න වශයෙන් අනුමාන කළ හැකිය. වඩා දියුණු සමාජය තුළ ගෞරවයට පාත්‍රවන මානව හිමිකම් ප්‍රතිසංස්කරණ ඇතිකිරීමෙහිලා මෙම යෝජනාව ඉදිරිපත් වන්නේ නම්, එය රටක් ලෙස අප සැබැවින්ම බාරගත යුත්තේ ධනාත්මකවය. මේ තත්ත්වය දක්වා තම මානව හිමිකම් දර්ශක වර්ධනය කරගෙන තිබීමම අප ලබා ඇති ජයග්‍රහණයකි. රටකට අභිමානයකි. දශකයක කාලයක් පුරාවට මැවූ 'විදෙස් බිල්ලා' තවදුරටත් ජීවමාන කිරීමේ උත්සාහය අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් දැන්වත් නතර කළ යුතුය. ඒ සඳහා තෙරපුමක් මෙම නව යෝජනා හරහා ලැබෙන බව පෙනෙන්නට තිබේ.

මාතෘකා