පවස නිවන දිය පොදක්

පවස නිවන දිය පොදක්

පෘථිවිය සියයට 70ක්ම වැසී තිබෙන්නේ සාගරවලිනි. ඒ සාගරවල තිබෙන්නේ ජලය වන නමුත් ඒවා මිනිස් පවස නිවනු පිණිස භාවිත කිරීම දුෂ්කරය. සාගර ජලය පිරිපහදු කොට බීමට ගත හැකි තත්ත්වයට පත් කරන රටකි; ඊශ්‍රායලය. එහෙත් එය ලෝකයටම පොදුවේ භාවිත කළ හැකි පිළියමක් නොවේ.

ලෝකයේ කෙතෙක් සාගර පැවතියද පානීය ජලය නොමැතිව මියයන ගණන අති විශාලය. දශක දෙකක් තුළ මිලියන එකොළහක් මියගොස් ඇත්තේ ජලය නොමැතිකමිනි. ලොව සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් සියයට 71ක් ජලයෙන් වැසී ඇතත් ලෝකයේ සමස්ත ජල ප්‍රමාණයෙන් බීමට ගතහැකි ජල ප්‍රමාණය සියයට 2.5කි. ලොව පුරා බිලියන 2.1ක් පානීය ජලය නොමැතිව දුක් විඳිති. කාන්තාර බිමක්ද නොවන, හරිත නිම්නයක් සේ පෙනෙන ශ්‍රී ලංකාවේද උග්‍ර ජල ගැටලු පවතී. පානීය ජලය නොමැතිව ජලය මිලට ගන්නා මිනිස්සු මෙරට කොතෙකුත් වෙති. වෙසෙසින්ම වියළි කලාප ආශ්‍රිත ජනයා නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුවක් වන්නේ ජල හිඟයයි. ඒ තබා තෙත් කලාප ආශ්‍රිත ජනතාව පවා පානීය ජල ගැටලුවට මුහුණ දෙන අවස්ථා කොතෙකුත් තිබේ.

ජල ගැටලුවේ උග්‍රතම පීඩාව විඳින්නේ උතුරේ ජනතාව බව නොරහසකි. ස්වකීය ජීවනෝපාය සහමුලින්ම පාහේ කෘෂිකර්මාන්තය සමඟ බද්ධව ජීවත්වන උතුරේ ජනතාව ජලයට දක්වන්නේ ඉමහත් ගෞරවයකි. ආඬි ළිඳෙන් දිය නෑමේදී පිටාර යන ජලය විධිමත් කානු පද්ධතියක් හරහා වගාවන්හි මූල පද්ධතියට සම්බන්ධ කිරීමට තරම් ඒ ප්‍රදේශවල ජනතාව ජලය පිළිබඳව පරිස්සම්සහගතය.

ඔවුන්ගේ කෘෂිකාර්මික දිවිපෙවත නැංවීම උදෙසා කඩිනමින් ජල ගැටලුවට විසඳුම් දුනහොත් එය සශ්‍රීක වගාවන් සහ පැහැබර ජීවිත දකින්නට හේතුවනු ඇත.

මොරගහකන්ද ව්‍යාපෘතිය අරඹන විට සමහර විවේචකයන් පැවසුවේ ඒ හරහා උතුරට ජලය ලැබෙන බවත් ඒ නිසා මේවාට එරෙහි විය යුතු බවත්ය. ප්‍රාමාණික වියතුන් යැයි කියාගත් උදවිය පවා මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ජාතිවාදී කෝණයකට දැමීම කොතරම් අභාග්‍යයක්ද?

සතියකට වරක් ට්‍රැක්ටර්වල නැඟී දිය නෑමට සහ බීමට ජලය ගෙනෙන්නට යන දර්ශන උතුරේ සුලබය. කිසිදු වග විභාගයකින් තොරව නිරීක්ෂණයක් හෝ පරීක්ෂණයක් නොමැතිව අපවිත්‍ර වැව්වලට බැරල් දමා බෝතල් කොට අලෙවි කරන අවස්ථාද උතුරේ බහුලය. ජලය ඔවුන්ට හුදෙක් සම්පතක් නොවේ. ජීවිතයකි; හුස්ම පොදකි.

සාමාන්‍යයෙන් වසරේ කාර්තු කිහිපයකදීම පාහේ රත්නපුර, කෑගල්ල, කළුතර ප්‍රදේශ යටකරමින් ගංවතුර හෝ මහා වැසි කඩා හැලෙයි. ඒ ජල කඳ නිකරුණේ මුහුදට ගලා බසී. ඊට පිළියම් ලෙස නළ මඟින් උතුරට ජලය ගෙන යෑමට යෝජනාවක් ගෙනාවේ ජනාධිපතිවරයාය.

යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘යාපනයට ගඟක්’ ව්‍යාපෘතිය සේම උතුරු හා උතුරුමැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදු කෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියද උතුරේ ජල ගැටලුවට තීරණාත්මක විසඳුම් සපයන ව්‍යාපෘති වෙයි. මෙවන් ව්‍යාපෘති කඩිනම් කොට ජල ප්‍රශ්නයට විධිමත් විසඳුමක් දීම අතිශයින් වැදගත් අවශ්‍යතාවකි.

මාතෘකා