මුණි සිරිපා සිඹිමින් එන කුණු සුළඟ

මුණි සිරිපා සිඹිමින් එන කුණු සුළඟ

ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බරයේදී ඇරැඹිණි. මිලියන 15ක් පමණ වන මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, ශ්‍රද්ධාවට පාත්‍රවන පූජනීය ස්ථාන අතරින් ශ්‍රීපාදස්ථානයට හිමිවන්නේ අද්විතීය තැනකි. ශ්‍රීපාද වන්දනාව හුදු වන්දනාවකින් ඔබ්බට ගොස් 'ශ්‍රීපාද කරුණාව' ලෙස හැඳින්වීමටත් වන්දනාවට පෙර දින ගණනක් පුරා මස් මාංස පරිභෝජනයෙන් වැළකී පේ වීමටත් වන්දනාකරුවන් ක්‍රියා කරන්නේ එම දැඩි භක්තිය හේතුවෙනි. පරම්පරා ගණනක් පුරා ශ්‍රීපාද වන්දනය අලළා බැඳී පවතින සම්ප්‍රදායන්ට අදත් අඩු වැඩියෙන් අනුගත වීමට උත්සාහ කරන්නේ ඒ ශ්‍රද්ධාව නිසාය.

මේ ශ්‍රද්ධාවේ තරම හෙළිවන 'ගඳ ගසන' සිදුවීමක් 2017 ඔක්තෝබර් මාසයේදී වාර්තා විය. ඒ හැටන් මාර්ගයේ නල්ලතන්නියත් උඩමලුවත් අතර මහගිරිදඹේ කොටසේ පැවති කුණු කන්දක් කඩාගෙන වැටීමෙනි. වන්දනාකරුවන් උඩමලුවේ දමා ගොස් තිබූ කුණු පහළට ගෙන යෑම සඳහා එක් රැස් කර තිබූ ස්ථානයක මෙම කුණු නාය යෑම සිදුව තිබූ බවද එයින් මාර්ගයේ මීටර් 15ක පමණ කොටසක් අවහිරව පැවති බවද හෙළි විය.

වසරකට පසුව මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ තත්ත්වය වෙනසක් සිදුව නැති බව, ශ්‍රීපාදස්ථානයේ ප්‍රධාන පිවිසුම් මාර්ග තුන අයත් වන පළාත් පාලන ආයතනවලින් 'රැස' කළ විමසුමකදී හෙළි විය. මස්කෙළිය, රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය සභාවලින් හෙළි කළ කරුණු අනුව ශ්‍රීපාද සමය අවසන් වනවිට පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් කිලෝග්‍රෑම් 110,000ක් පමණ එක්වන බව පැහැදිලි වේ.

පෙරදී අඹගමුව ප්‍රාදේශීය සභාවට අයත්ව තිබූ කොටසක් දැන් මස්කෙළිය ප්‍රාදේශීය සභාවට අයත් වේ. නල්ලතන්නි හැටන් ප්‍රධාන සිරිපා මඟෙහි සීත ගඟුල සිට ඉඳිකටුපාන දක්වා කොටස අයත්ව ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. සිරිපා පිරිසුදු කිරීමේ අපහසුම සහ වෙනත් බාධා වැඩිම කලාපය වන්නේ සිරිපා මලුව හෙවත් ඉඳිකටුපානෙන් ඉහළ කොටසය. සිරිපා මළුව පිහිටා තිබෙන උසැති ගල් තලාවේ සිව් දෙසින් පොලිතීන්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය රැසක් ගොඩගැසේ.

ප්‍රාදේශීය සභා සහ වනජීවී දෙපාර්තමේන්තුව යන පාර්ශ්ව දෙකම, කුණු තිබෙන ස්ථානවලම පිලිස්සීම වැනි පරිසරයට අහිතකර දේ නොකරන අතර ඔවුන්ගේ හැකියාව මත සේවකයන් යොදවා කුණු පහළට ගෙන ඒමට කටයුතු කරන බවද සත්‍යයකි.

සිරිපා මඟේ එක් පැයකට එක් පඩියක් නඟින පිරිස ඇතැම් විට තුන්-හාරසීයකටත් වඩා වැඩිය. මේ නිසා එක් කුණු බාල්දියක් පිරීමට පැයක්වත් ගත වන්නේ නැත. ඇතැම් පිරිස් බත් කොළ, විවිධ කෑම, දරුවන්ගේ නැපි, සනීපාරක්ෂක තුවා, සෙරෙප්පු සපත්තු ආදී දේ වෙන් නොකරම බාල්දිවලට දමති. වැසි සමයකදී නම් ඒ කුණු තවත් බර වේ. මේ ඉක්මනින් පිරෙන බාල්දි සේවකයන් 30-40කට පහළට ඇදීමට සැබැවින්ම අපහසුය.

කුණු බාල්දිවල වැඩිපුරම ඇත්තේ ප්ලාස්ටික් බෝතල්ය. ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12ක් පමණ නල්ලතන්නිය වනජීවී කාර්යාලය අසබඩ තාවකාලික විශාල ගෙයක බහා තිබේ. ඉතාම සැහැල්ලු වුවද විදේශිකයෙක් හැරුණු කල හිස් බෝතල හෝ හිස් කෑම අසුරන හෝ අඩු තරමේ ටොපි කොළයක් වත් බොහෝ වන්දනාකරුවන් තම මල්ලට නැවත දමා ගන්නේ නැත. එබැවින් ප්ලාස්ටික් පොලිතීන් අසුරන සහ බෝතල් සිරිපා ඉමේ බහුලය.

ශ‍්‍රීපාද අඩවිය පරිසර විද්‍යාත්මකවද ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ ඇති පාරිසරික වටිනාකම නිසාම 1940 ඔක්තෝබර් 20 වැනිදා රජය ශ‍්‍රීපාද අඩවිය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කළේය. එම අභය භූමියට අයත් ප‍්‍රදේශයේ විශාලත්වය හෙක්ටයාර 22,388කි. මෙරට ප‍්‍රධාන ගංගා සහ අතු ගංගා රැසක පෝෂක ප‍්‍රදේශය වන්නේද ශ‍්‍රීපාද අඩවියයි.

එනයින් බලන කලද වන්දනාකරුවන් ලෙස, පරිසර ගවේෂකයන් ලෙස හෝ කඳු නඟින්නන් ලෙස ශ්‍රීපාදය තරණය කරන පිරිස නොදිරන කැළි කසළ එම ප්‍රදේශයේ බැහැර කරන්නේ නම් ඔවුන් කරන්නේ සුළුවෙන් තැකිය නොහැකි අපරාධයකි. ඉමහත් ශ්‍රද්ධාව පෙරදැරිව වන්දනාවේ ගොස් පූජනීය ස්ථානයේ පරිසරය ගඳ ගහන කුණු ගොඩක් බවට පත් කර නැවත පැමිණීම ගැටලු සහගතය. හුදෙක් නිලධාරීන්ට සහ ආයතනවලට වගකීම පටවා තම දෑස් පිසදා ගැනීමේ 'දුගඳ ශ්‍රද්ධාව' බැහැර කිරීමට වන්දනාකරුවන් දැන්වත් ක්‍රියා කළ යුතුය.

මාතෘකා