කන්නේ බොන්නේ විෂද?

කන්නේ බොන්නේ විෂද?

ආනයනික කිරිපිටිවල ඩයි සයිනයිඩ් ඩයමයිඩ් (ඩී.සී.ඩී) අඩංගු බවට ඇති වූ ප්‍රචාරයක් සමඟ ආනයනික කිරිපිටි වර්ග කිහිපයක කාණ්ඩ කිහිපයක් තහනම් කිරීමට සහ වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීමට සිදු වූයේ දැනට වසර පහකට පමණ පෙරය. කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණයකින් අනතුරුව එම කිරිපිටි කාණ්ඩ තහනම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම සමාගම්වලට දැනුම් දුන්නේය. මේ සිදුවීම් හරහා දේශීය දියරමය කිරි පානයට ජනතාව යොමු විය යුතු බවට දැවැන්ත කථිකාවතක් නිර්මාණය වූ නමුත් 2013.08.30 වැනි දින ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එවකට අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල පැවසුවේ 'කිරි පිටි ප්‍රශ්නයේදී' ආණ්‌ඩුව ප්‍රමාණය ඉක්‌මවා ගිය මුත් දැන් ඒ තත්ත්වය නිවැරැදි කරගනිමින් සිටින බවය. මෙයින් හෙළි වූ තිත්ත ඇත්ත නම්, දියර කිරි සම්බන්ධයෙන් වූ ධනාත්මක හැරවුම පසෙකලා ආනයනික කිරි පිටි වෙළෙඳපොළට අවශ්‍ය ඉඩ සැකසෙමින් පැවතීම ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඔවුන් සිතන බවය. කෙසේ වෙතත් ආනයනික කිරිපිටි සාම්පල් වරායේදීම පරීක්ෂණයකට බඳුන් කර නියමිත ප්‍රමිතියෙන් ඇති තොග පමණක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ගත් අවස්ථානෝචිත තීරණය සාපේක්ෂව පැසසිය යුත්තක් විය.

ආනයනික කිරිපිට ගැන නැවත කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ ඒවායේ ඌරු තෙල් අඩංගු බවට මාධ්‍ය කිහිපයක් වාර්තා කිරීමෙන් අනතුරුවය. මේ පිළිබඳව කර්මාන්ත සහ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී නැවත වරක් ප්‍රකාශයක් සිදු කළේය. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ මේ තත්ත්වය තවමත් තහවුරු වී නොමැති බවය.

මහජනතාව ඇත්තේ ගැටලුසහගත තත්ත්වයකය. පෙර අත්දැකීම් හේතුවෙන් කිරිපිටිවල ප්‍රමිතියේ ගැටලු ගැන කලින් කලට මතුවෙන පුවත් මුළුමනින්ම බැහැර කළ නොහැකිය. අනෙක් අතට පෙර වාරයේ ආනයනික කිරිපිටි රැක ගැනීම වෙනුවෙන් සෘජුව පෙනී සිටි එවක සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ඉහළ නිලධාරීන් දැන් කිරිපිටි ආනයනය කරන සමාගම්වල ඉහළ තනතුරු හොබවන බවටද තොරතුරු ඇත. දැවැන්ත අන්තර්ජාතික සමාගම් සතු ධන සහ දේශපාලන බලය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් පටු ලෙස භාවිත කළ අවස්ථාද මෙරට ඉතිහාසයේ බහුලව ඇත. අනෙක් අතට වසර පහකට පෙර ඩීසීඩී ගැටලුව අවස්ථාවේ ක්‍රියාත්මක කරනවා යැයි පැවසූ වරායේ සාම්පල් පරීක්ෂාව දිගටම සිදු වූයේද නැති වාතාවරණයක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නොසලකා හරිනවාට වඩා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තහවුරුව ප්‍රශ්න කිරීමට මෙරට පාරිභෝගිකයන් යොමු වීමේ අරුමයක්ද නැත.

ආහාර නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙරට බලපවතින්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් පිරිනමන ප්‍රමිති සහතිකය වේ. ලොව පිළිගත් නෙදර්ලන්තයේ RvA ආයතනය සහ අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය මඟින් විෂය පථයන් 22ක් සඳහා අනුමත කර ඇති අතර එම ප්‍රතීතකරණය යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරි නමනු ලබන ISO 9001 සහතික සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී තිබුණද මෙම සියලු විෂය පථයන් ඔස්සේ දිනපතා මෙරට නිෂ්පාදනය සහ ආනයනය කරන නව නිෂ්පාදන දහස් ගණනක් වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතුව ඇත්තේ නායක විගණකවරුන් 20කින් සහ විගණකවරුන් 65කින් සමන්විත කණ්ඩායමක් පමණි.

ඊටත් වඩා පරිභෝජනය සඳහා සූදානම්ව වෙළෙඳපොළට නිකුත් කරන ආහාර නිෂ්පාදන සතුව එවැනි ප්‍රමිති සහතිකයක් තිබිය යුතු යැයි අවම නියමයක්වත් මෙරට බලපැවැත්වෙන්නෙ නැත.

මේ අතරිනුත් ආහාර නිෂ්පාදනවල ප්‍රමිතිය විශේෂ ගණයෙහි ලා සැලකිය යුත්තේ මිනිසාගේ ප්‍රධානම අවශ්‍යතාවක් ලෙස ආහාර අප හඳුන්වන්නේ මානව පරිණාමයේ ආරම්භයේ පටන් වීම නිසාය. නමුත් මිලියන 22ක ජනතාව දිනපතා පරිභෝජනය කරන ආහාරවල ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තුව තුළ දැඩි ස්ථිරසාර හඬක් නැඟීමට නම්, පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහර විෂ වෙන තෙක් බලා සිටිය යුතුදැයි මහජනතාව ප්‍රශ්න කරන දිනය වැඩි ඈතක නොවේ.

මාතෘකා