ජීවිතයට ප්‍රමිතියක්

ජීවිතයට ප්‍රමිතියක්

වේයන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික විනෝද උයනකදී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් මිය යෑමේ සිදුවීම රටම කම්පාවට පත් කළේය. බූවල්ලා මැයෙන් යුතු කැරකෙන ඔන්චිල්ලාවේ සිටියදී එහි අසුනක් ගැලවී බිම පතිත වීමෙන් මෙය සිදුවිය. යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට එහි සේවකයා දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් යන්ත්‍රයේ කොටස් මවගේත් දැරියගේත් හිසෙහි වැදීම මරණවලට හේතු වී ඇත.

මේ සිදුවීම ආශ්‍රයෙන් ගැටලු කිහිපයක් පැනනඟී. ඉන් පළමුවැන්න අප පරිහරණය කරන විවිධ උපකරණවල ප්‍රමිතිය පිළිබඳ වගකීමයි. මේ වගකීම නිසියාකාරයෙන් ඉෂ්ට වී නොමැත. විනෝද උයන්වල පමණක් නොව විවිධ ස්ථානවල මෙවැනි අනතුරු නිතර සිදුවේ. කෙටි කලකදී මේවා කාහටත් අමතක වේ. සියල්ල පෙර පරිදිම ඉදිරියට යයි. මරණයෙන් කෙළවර නොවූවද විවිධ ආබාධවලට ලක්වන්නෝද සිටිති.

ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය ක්ෂේත්‍ර කිහිපයකට දිගු වෙයි.

පැකට් කළ ආහාර, ශාකසාර [හර්බල් නිෂ්පාදන], බාම් වර්ග, හිසෙහි ගල්වන තෙල් වර්ග, ආනයනික පලතුරු, ආනයනය කරන ඇලුමීනියම් භාණ්ඩ, රසායන ද්‍රව්‍ය ආලේපනය කළ රූබික් කැට සහ ලාටික්, සෙල්ලම් බඩු, කරවල, හාල්මැස්සන් ඇතුළු වියළි ආහාර යනාදී වශයෙන් මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් කරන ද්‍රව්‍ය සහ උපකරණ සුලබ වෙයි. ප්‍රමිතියෙන් තොර ඇලුමීනියම් වළං භාවිතයෙන් වකුගඩු ආබාධ ඇතිවන බව හෙළි වී තිබේ.

ශාකසාර නිෂ්පාදන වශයෙන් වෙළෙඳපොළෙහි ඇති බොහෝ ආලේපන සඳහා ශාක කොටස් වෙනුවට කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කර ඇති බව අනාවරණය වේ. ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාව තහවුරු කරන්නේ සංස්ථාව හැර වෙනත් බොහෝ ආයතනවලින් නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේද ඖෂධ හා ආලේපන යනාදිය නිසි ප්‍රමිතියකින් තොර බවය. සුදු හඳුන්, සුවඳ කොට්ටන්, කස්තුරි යනාදී සංඝටක ඇතැයි සඳහන්වන එබඳු නිෂ්පාදනවල ඇත්තේ අඩු මිලට සැපයෙන වෙනත් ද්‍රව්‍ය බව සංස්ථාවේ වෛද්‍යවරුන් කිහිප විටක්ම අනතුරු අඟවා ඇත.

ආචාර්ය අමරසිරි පොන්නම්පෙරුම මේ ගැන අධ්‍යයනය කළ එක් විද්වතෙකි. ප්‍රමිතියකින් තොර ද්‍රව්‍ය පරිහරණය නිසා අසාත්මිකතා ඇතිවේ. විවිධ රෝගාබාධ හටගනී. ඇතැම් විට මරණය පවා සිදුවේ. රූපලාවණ්‍ය ආයතන ආශ්‍රිතව මෙවැනි සිදුවීම් නිතර වාර්තා වේ. රුව ලස්සන කරගැනීමට ගොස් මුහුණ විකෘති වූවන් පිළිබඳ පුවත් ශෝකජනකය.

ස්ටොක්හෝම් සම්මුතිය අනුව තහනම් කරන ලද අහිතකර විෂ රසායන ඇතුළත් ප්ලාස්ටික් සෙල්ලම් බඩු මෙරට වෙළෙඳපොළෙහි ඇති පාරිභෝගික සංගම් විසින් අනතුරු අඟවා තිබේ.

එමෙන්ම කොළඹ මහ නගර සභාව හඳුන්වා දුන් දුරකථන අංකය වන 0112676161ට දැනුම් දීම ඔස්සේ අවස්ථා කිහිපයකදී වෙළෙඳසැල්වල ගබඩා කර තිබූ කල් ඉකුත් වූ කුළු බඩු, ලූනු, කරවල සහ හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන තිබේ.

පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් පාරිභෝගික සංගම් කිහිපයක් ක්‍රියාත්මක වේ.

එහෙත් මහජනයා තම අයිතීන් කඩවීම පිළිබඳ සවිඥානකත්වයෙන් පසු වන බවක් නොපෙනේ.

පාරිභෝගික සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව යනාදී රාජ්‍ය ආයතනවලින් ඉෂ්ට වන කාර්යභාරය සහ තමන්ට ඒවායින් ලබාගත හැකි සේවාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් මහජනයාට ඇති බවක්ද නොපෙනේ. එමෙන්ම වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා භෞතික හා මානව සම්පත් හිඟයක් ඇති බවට එම ආයතනද චෝදනා නඟයි. මේ සියලු කරුණු පිළිබඳ කථිකාවතක් ඇති කිරීම රටවැසියන්ගේ යහපත පිණිස හේතු වනු නිසැකය.

මාතෘකා