පිළිකා උවදුරෙන් අත් මිදීම

පිළිකා උවදුරෙන් අත් මිදීම

අන් කවරදාටවත් වඩා පිළිකා රෝගීන් වාර්තා වීම බරපතළ සමාජ ව්‍යසනයක අනතුරු ඇඟවීමක් වැන්න. වසරකට ලොව පුරා මිලියන අටකට ආසන්න ජන පිරිසක් පිළිකා උවදුර නිසා මිය යයි. ලංකාවෙහි එම ගණන 7000කි. පිළිකා රෝගීහු 30,000ක් පමණ මේ වන විට ලියා පදිංචි වී සිටිති. පිළිකා රෝගවලින් මිය යන සංඛ්‍යාව දෙවැනි වන්නේ හෘද රෝගවලින් මිය යන ගණනට පමණි.

රෝගය මුල් අවධියෙහිදීම හඳුනා ගැනීම සහ සෞඛ්‍යාරක්ෂිත ජීවන පුරුදු ඇති කර ගැනීම පිළිකා මරණ අවම කරගැනීමේ මඟ බව වෛද්‍යවරු පවසති.

අපේ රටේ පිළිකා රෝගයට ප්‍රතිකාර ගන්නා පිරිස අනුව බලන කල ඒ සඳහා අවශ්‍ය පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙනේ. පිළිකා රෝගීන් සඳහාම වෙන් කර ඇත්තේ මහරගම අපේක්ෂා රෝහල පමණි. එමෙන්ම කරාපිටිය, මහනුවර, බදුල්ල, රත්නපුර හා අනුරාධපුරයෙහි පිළිකා මර්දන ඒකක පිහිටුවා තිබේ. රෝගීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඇතැයි යන විශ්වාසය අනුව මහරගම අපේක්ෂා රෝහලට දිනපතා ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව විශාලය. රෝහලෙහි කාර්ය මණ්ඩලය තමන්ට තිබෙන පහසුකම් අනුව උපරිම සේවාවක් ලබාදීමට උත්සාහ දරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

රෝගීන්ට මානසික සුවයක් ලබාදීම පිළිකාවෙන් ඔවුන් මුදවා ගැනීමේදී පිටුවහලක් බව වෛද්‍යවරුන් විසින් වටහාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එහි මනෝ උපදේශන සේවාවක්ද අරඹා ඇත. එමෙන්ම කුසලතා නැංවීමේ වැඩසටහන්, පුස්තකාල හා කලා සංස්කෘතික වැඩසටහන් මෙන්ම භාවනා වැඩසටහන්ද ක්‍රියාත්මක වේ.

කරුණු එසේ වුවද රෝහල් පරිපාලනයෙහි බරපතළ දුබලතා ඇති බව පෙනේ. පිළිකා රෝගය මර්දනය කිරීම සඳහා ලබා දෙන ප්‍රතිකාර ශරීරයට බලපාන අන්දම අනුව රෝගීන් සඳහා අංග සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම අනිවාර්ය වේ. එය සෞඛ්‍ය අමාතාශයද පිළිගනී. එහෙත් රෝගීන්ට ලබා දෙනුයේ රෝගී බව වැඩි කිරීමට හේතුවන දුප්පත් ආහාර වේලකි. මේ නිසා ඇතැම් රෝගීහු මේ ආහාර වේල ප්‍රතික්ෂේප කරති. රෝහල් මුළුතැන්ගෙයි ටෙන්ඩර් පටිපාටිය දූෂිත එකකි. රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලනය ඊට මුළුමනින්ම වගකිව යුතුය. මේ ගැන පරීක්ෂණයක් සිදුකර වහා පිළියම් යොදා රෝගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කරන්නැයි අමාත්‍යාංශයේ බලධාරීන්ට ආරාධනා කරමු.

රෝහලේ වාට්ටුවල බළලුන් හා සුනඛයන් ලැගීම සාමාන්‍ය ලක්ෂණයකි. විදුලි පංකා සීමාසහිතය. රෝහලේ වාට්ටු අවට කානු පද්ධතිය හා මංතීරු අවට බුලත් කෙළ හා වෙනත් අපද්‍රව්‍ය විසිරී පවතී. මෙය පිළිකා රෝගීන්ගේ සෞඛ්‍යයට තර්ජනයකි. බුලත් විට කන සේවකයන් පිළිකා රෝගීන්ට වැරදි ආදර්ශයකි.

මුඛ පිළිකාවලින් දිනකට දෙදෙනෙක් මියයති. බුලත් විටද මුඛ පිළිකා ඇති වීමේ එක් හේතුවකි. දුම් පානය පිළිකා ඇති වීමේ තවත් හේතුවකි. පසුගිය දශක කිහිපයෙහි පිළිකා රෝගය වර්ධනය වීම කෙරෙහි වැරදි ආහාර පුරුදු, ජීවන පුරුදු මෙන්ම වසවිස භාවිතයද බලපෑවේය.

කෘත්‍රිම වර්ණකාරක හා රසකාරක යෙදූ ආහාර, පැකට් කළ ආහාර හා මීට් බෝල්ස් යනාදිය ආහාර රටාවට එක්වීමේ ප්‍රතිඵලය හැටියට කුඩා දරුවන් පවා පිළිකා රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි.

ලාංකිකයන්ගේ ආහාර රටාව වස විස නොයෙදූ ධාන්‍ය, එළවළු, පලතුරු හා ඖෂධ පැළෑටිවලින් සමන්විත වීම නිසා පිළිකා අවදානම ඉතාමත් අඩු විය. මෙහි ප්‍රතිඵලය වූයේ පිළිකා නාශක බෙහෙත් වෙනුවෙන් විශාල මිලක් අවශ්‍ය නොවීමය. එහෙත් වත්මනෙහි සෞඛ්‍ය වියදම්වලින් විශාල ප්‍රමාණයක් පිළිකා මර්දනය සඳහා යෙදවීමට රජයට සිදුව තිබේ. මෙය අවම කරගත හැකි එක් මඟක් වන්නේ සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවකට හුරුවීමය. ජීවන චර්යා වෙනසකට ලක් කිරීමය. අප ආඝ්‍රාණය කරන වාතය දූෂිතය. පිළිකාකාරක අඩංගුය. මෙනිසා පරිසරයට කරන හානිය වලක්වා ගත යුතුය.

අවිචාරවත් මිනිස් ක්‍රියාකාරකම්,පාරම්පරික ජීවන හර පද්ධතීන් නොසලකා හැරීම, ආහාර නිෂ්පාදන සමාගම්වල ප්‍රචාරණයට ගොදුරු වීම යනාදියෙහි සමස්ත ප්‍රතිඵලය සමාජයට හානිකරය. මේ නිසා විචාරවත්ව සිතන පරපුරක් බිහිකරගැනීම අපගේ වගකීමයි.

මාතෘකා