සුදු අලි

සුදු අලි

පළාත් සභාවල පාලනයට තිස් දෙවසරක් පිරී ඇත. පළාත් සභා ඇතිකරනු ලැබුවේ 1987 ජූලි මස අත්සන් කරනු ලැබූ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රකාර ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවට කරනු ලැබූ 13 වැනි සංශෝධනය සහ පළාත් සභා පනතට අනුවය.

මුලින්ම පළාත් සභා මැතිවරණයක් පවත්වන්නේ ඊට වසරකට පසු, එනම් 1988 නොවැම්බර් 19 වැනිදාය.

කවුරුන් කුමක් කීවද සත්‍ය වශයෙන්ම පළාත් සභා ක්‍රමය සකස් වන්නේ ඉන්දියාවට අවැසි වූ නිසාය.

බොහෝ දෙනකුගේ මතය වන්නේ පළාත් සභා වනාහි 'සුදු අලියෙක්' පමණක් යන්නය. එය හුදෙක් සැණකෙළි ස්වරූපයක් ගත් මැතිවරණයකින් සහ ජනතා වැය බරකින් නඩත්තු වන සභිකයන් පිරිසකගෙන් සමන්විත තැනක් පමණක් බවට විවේචනද වෙයි.

පළාත් සභාවලට තව තවත් බලය බෙදා හරිමින් ඒවා වඩාත් අර්ථවත් කරන ලෙස, 2017 වසරේදී පළාත් සභා නවය නියෝජනය කරන මහ ඇමැතිවරු සාමූහිකව ඉල්ලා සිටියහ. වර්තමාන පළාත් සභා පවතින්නේ බල රහිතව බවත් ඒවා හුදෙක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කරන ලද සංකේත ආයතන පමණක් වන බවත් ඔවුන්ගේ ඉල්ලීමෙන්ම ගම්‍ය වෙයි.

සාමය සහ සංහිඳියාව තර කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය වඩාත් සවිබල ගැන්වීමට නොහැකි වීමට, එදා උතුරු නැඟෙනහිර පළාත් සභා අක්‍රියව පැවතීමත් බලපෑවේය.

පළාත් සභා හඳුන්වාදීම සම්බන්ධව එකඟ වූයේ එජාපය පමණි. ශ්‍රීලනිපය සහ ජවිපෙ එවක පළාත් සභාවලට එරෙහිව දැවැන්ත විරෝධතා දියත් කළහ. එහෙත් පසුව ඒ දෙපාර්ශ්වයම පළාත් සභාවලට අනුගත වූ අතර ශ්‍රීලනිපය බිහි කළ පළමු ජනාධිපතිවරිය පවා දේශපාලන ගමන ආරම්භ කළේ පළාත් සභාවෙනි.

පළාත් සභා ක්‍රියාත්මක වීමේදී නැඟුණු චෝදනාවක් වූයේ 13 වැනි ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට දුන් බලය මධ්‍යම ආණ්ඩුවෙන් පවරා ගැනීමය. පළාත්වලින් රැස් කෙරෙන බදු ආදායම් සාධාරණ අයුරින් එම පළාත්වල ආයෝජනය සඳහා නොයෙදවීමේ චෝදනාවද විය. මධ්‍යම ආණ්ඩුවේ විෂයයන් සහ පළාත් විෂයයන් හරිහැටි නිර්වචනය නොවීමේ අඩුවද පැවතිණ.

පළාත් පරිපාලනය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සතු බලතල පළාත් අමාත්‍ය මණ්ඩලය අධෛර්යමත් කිරීමට හේතු වී ඇත. පළාත් සභා වෙත ව්‍යවස්ථානුකූලව ලබා දිය යුතු බලතල මධ්‍යම ආණ්ඩුව විසින් රඳවා තබා ගෙන ඇත. එමෙන්ම කලින් කල බලයට පත් වූ ආණ්ඩු හා දේශපාලන පක්ෂ සිය දේශපාලන බල අරමුණු ඉටුකර ගැනීමේ උපකරණයක් ලෙස පළාත් සභා භාවිතයට ගෙන ඇත. පළාත් සභාවලට පවරන ලද විෂයයන් පිළිබඳව තිබෙන අපැහැදිලිභාවය සහ සුදුසු කෙටුම්පත්කරුවන් නොමැති වීම නිසා පළාත් සභාවල නීති සම්පාදනය සීමා සහිත වී ඇත. පළාත් සභාවන්ට සපයාදිය යුතු රාජ්‍ය පරිපාලන සංවිධානය නිසි පරිදි සැලසුම් කිරීමට දේශපාලන හා පරිපාලන නායකයන් අසමත් වී ඇත.

මෙවැනි බොහෝ දුර්වලතා, ගැටලු සහ අඩුලුහුඬුකම් පළාත් සභා සම්බන්ධව තිබේ.

ඉඩම් සහ පොලිස් බලතල විවාදාපන්නම මාතෘකාවක් විය. යෝජිත ව්‍යවස්ථා අනුකමිටු වාර්තා මේ බොහෝ ගැටලු නිරාකරණය කිරීමේ ප්‍රවේශයකින් යුක්තය.

පළාත් සභා ඇතිකරන අවස්ථාවේදී ඒවාට විරුද්ධ වූ සියලුම දෙනා දැන් පළාත් සභාවලට සම්බන්ධ වී තිබේ. පළාත් සභාවල බලතල වැඩි කර ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ දූෂණයට ඇති මාර්ග අහුරා දැමීම රටේ ප්‍රාදේශීය සංවර්ධනයටද ඒ හරහා රට පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වර්ධනයටද හේතු විය හැකි නම්, මේ සියල්ල රටේ ආර්ථික අභිවෘද්ධියට පාදක කර ගත හැක.

කෙසේ වෙතත් පළාත් සභා පමණක් නොව සියලු ක්‍රම පිළිබඳව නැවත සිතා කල්පනා කිරීමට උචිත කාලය එළැඹ තිබේ. පළාත් සභා ඡන්දය පැවැත්වූ පමණින්වත් ජනාධිපතිවරණ පැවැත්වූ පමණින්වත් සියල්ල නිවැරදි වන්නේ නැත.

මාතෘකා