දරුවන්ට ගහන්න එපා

දරුවන්ට ගහන්න එපා

පාසලක සිසුන් අතරේ හිටිය අයකු ඔවුන්ගේ යම් යම් දෑ හොරකම් කරන බවට ගුරුවරයා වෙත පැමිණිලි ලැබිණි. ගුරුවරයාට ලැබුණු මේ පැමිණිල්ල නිසාම ඔහු කළේ අනුන් සතු දේ ගන්න එපා යැයි කියා ‍පොදුවේ අවවාද කිරීමය. එහෙත් හොරකම දිගටම සිදුවිය. දවසක් හොරා අතටම හසුවිය. සිසුහු චූදිත සිසුවා රැගෙන ගුරුතුමා අසලට පැමිණියහ. ඔහුට දඬුවම් කරන ලෙසත් පාසලෙන් ඔහු එළවා දමන ලෙසත් සිසුහු ගුරුවරයාට ඇවිටිලි කරන්නට වූහ. ඔහුට දඬුවම් නොකළොත් සියලු දෙනා වෙනත් ගුරුවරයකු කරා යන බවත් ඔවුහු පැවසූහ. ගුරුතුමා සාවධානව අසා සිට මෙලෙස විමසුවේය.

“මොහු එළවා දැමිය යුතුද?”

‘ඔව්’

සිසුන් එක හඬින් කීය.

“එළෙව්වේ නැත්නම් ඔබ මොකද කරන්නේ?”

“අපි හැමෝම වෙන ගුරුවරයෙක් ගාවට යනවා!”

සිසුහු නිශ්චිතව පැවසූහ. ගුරුතුමා හිස මඳක් සැලුවේය. අනතුරුව හඬ අවදි කළේය.

“එහෙනම් මගේ තීරණය අහන්න... ඔබ කවුරුත් හොඳ නරක දන්නවා. ඒ නිසා ඔබ කාටත් වෙන ඕනෑම ගුරුවරයෙක් ගාවට යන්න පුළුවන්. ඔවුන් ඔබව ආදරයෙන් බාර ගනීවි. ඒත් මේ ගෝලයාට එහෙම ගුරුවරයෙක් නෑ. අඩු තරමේ ඔහු හොරකම හොඳද නරකද කියාවත් දන්නේ නෑ. ඔහුට හොඳ නරක කියා දෙන්න ඉන්නේ මම විතරයි. ඒක මගේ වගකීම. මා එය කළ යුතුයි. ඔබ යන්න. මම මොහුට ජීවිතය කියා දෙන්නම්” චූදිතයා වූ සිසුවා ඉකි ගසා හඬන්නට පටන් ගත්තේය. සෙසු ගෝලයෝ නිරුත්තර වූහ.

ඉන් ඔබ්බට කිසිදාක ඔහු සොරකම් නොකළේය .

ගුරු වෘත්තිය යනු නිර්මාණශීලීව ආත්ම ගොඩදමන මහා පරිමාණ ව්‍යාපෘතියකි.

එය කොතරම් වගකීම්සහගත වෘත්තියක්ද යත් වෛද්‍යවරයකු අතින් සැත්කමකින් සිදුවන සුළු අතපසු වීමට වඩා ගුරුවරයාට සිදුවන අත් වරදින් වන හානිය බරපතළය.

සතතාභ්‍යාසය සහ අත්දැකීම් එකතුකර නොගැනීමේ ගුරු ඛේදවාචකය අතිශය බරපතළ ලෙස සමාජය තුවාල කොට තිබේ. දරුවන්ට ගැසිය යුතුද, නැතිද යන විවාදය මැද අපි ගන්නේ 'නොගැසිය යුතුය' කියන පැත්තය. 'හැඳි නොගා හදන හොද්ද' ගැන උපමා ගෙන කිසිවකු තර්ක කරනවානම් අපට කියන්නට තිබෙන්නේ 'හොද්ද හදන ක්‍රමය'ට ළමයි හැදිය යුතු නෑ කියාය.

අපි, ගුරුවරුන් කරනු ලබන උදාරතර මෙහෙයට වනපස මල් පුදමු. ඒ ගැන තර්කයක් නැත. උගුර ලේ රහ වනතුරු කෑගසමින්, සොච්චම් වැටුප ගැන නොතකා පාසල් කාලයෙන් පසු ගෙදරට ගොසිනුත් වැඩ කරන ගුරුවරු වනාහී

'පූජාත පූජනීය' පිරිසක් වග අප ඉඳුරාම විශ්වාස කරමු. රටක ජාතියක ඉරණම් කතාව ලියැවෙන්නේ ගුරු භූමිකාවේ ස්වරූපය මත පිහිටාය.

එහෙත් දරුවන් අරබයා දණ්ඩනය පාවිච්චි කිරීම සාධාරණයැයි කියන්නට යට කී යහගුණ ආවරණයක් වන්නේ නැත.

දරුවන්ට දඬුවම් කළ යුතුද නැද්ද කියා විමසනවාට වඩා මේ මොහොතේ ඵලදායී වන්නේ ගුරු භූමිකාව පිළිබඳව ලියැවී තිබෙන අමිල ග්‍රන්ථ කිහිපයක් ගුරුවරුන් හට කියවීමට යෝජනා කිරීමය.

ඉන් එකක් 'හරි පුදුම ඉස්කෝලේ'ය. නිර්මාණශීලී ගුරුභූමිකාවේ පරමාදර්ශය 'හරි පුදුම ඉස්කෝලේ' තුළින් වහනය වේ.

“මම මගේ ගුරුතුමා වූ මිලානි පියතුමා ගැන ආඩම්බර වෙමි. මගේ ගුරුවරයාද මා ගැන ආඩම්බර වෙයි. පාසලක සැබෑ හරය මෙය හැර වෙන කුමක්ද?” යනුවෙන් සටහනක් එම කෘතියෙහි වෙයි.

නාහෙට නාහන දරුවන් සිටින පාසලක ගුරුවරයකු වෙත්නම් ඔහු 'ආදරණීය ගුරුතුමනි' කියවා තිබීම බෙහෙවින්ම වටී. දුයිෂයින්ට මෙන්ම මිලානි පියතුමාටත් ආදරය කරන දරුවන් ඊටත් වඩා රිකාඩෝ බ්‍රේත්්වේට්ට ආදරය කළහ.

ඒ සියල්ල අතරේ ඉතාලියේ ගුරුවරුන්ගේ කෙනෙහිලිකම්වලට මුහුණ දුන් බාර්බියානාවේ පාසලේ අවුරුදු 16ක සිසුන් අට දෙනකු ලියූ 'දයාබර ගුරුතුමී වෙතට'යි ‍පොත සියලු ගුරුවරුන්ට අත් ‍පොතක් වී නම් මැනවි.

කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන්න සත්‍ය සේම යට කී පොත් කියවන ගුරුවරයාද අවශ්‍යයෙන්ම ‘නිර්මාණශීලී ගුරුවරයකු’ වනු ඇත.

දුයිෂයින් කොබයාෂි, බ්‍රේත්වේ්ට්ටත්, මිලානී පරම්පරාවේ සකළ ගුරුවර ගුරුවරියන් අතරට මෙරට ගුරුවරුන්ද ඇතුළත් වේ නම් කිසිම දරුවකු 'ගුටි කන්නේ' නැත. කිසිම දරුවකු 'නොසණ්ඩාල' වෙන එකක්ද නැත.

මාතෘකා