නිදහස් ද?

නිදහස් ද?

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ස්වාධීනත්වය ලැබූ දිනය මුල්කරගනිමින් යෙදෙන ‘නිදහස් දිනය’ අදට යෙදී තිබේ. නිදහස ලැබීමෙන් පසුව ගෙවී ගිය වසර 71ක කාලය තුළ අසාර්ථක සන්නද්ධ අරගල තුනකින් ලද තුවාල කැළැල් තවමත් විටින් විට මතුවෙමින් තිබේ .

බැඳ දැමූ දම්වැල් බිඳ දමා ස්වාධීන නිදහසක ආස්වාදය මේ කොදෙව්වේ යහමින් භුක්ති වින්දාද යන්න වෙනම කතා කළ යුත්තකි.

නිදහස වඩාත් අර්ථවත් වීමට නම් සමස්ත පරිසරයම ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම ආධ්‍යාත්මික සංසිඳීමක් අත් කරගත යුතුය. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනාගත හැක්කක් නොවන බව පළමුව අවධාරණය කළ යුතුය.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීම සඳහා කළ දේශපාලන අරගලයේදී ජාති, ආගම්, කුල ආදී පටු භේද අමතක කර කටයුතු කළ අතර විශේෂයෙන් උතුරේ දමිළ නායකයෝ මේ සඳහා ප්‍රබල සහායක් ලබා දුන්හ. එහෙත් අසල්වැසි ඉන්දියාව නිදහස දිනා ගන්නා අවස්ථාව වන විට ඉන්දීය මුස්ලිම් ප්‍රජාව නියෝජනය කළ මොහොමඩ් අලි ජින්නා වැනි බෙදුම්වාදී මානසිකත්වයක සිටි පිරිස් ලංකාවේ නොසිටීම කොතරම් භාග්‍යයක්ද?

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ශ්‍රී අක්ෂරය මුල්කර ගෙන ඇති වූ ජාතිවාදී ගැටුම්, බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට එරෙහි වීම, ඩඩ්ලි - චෙල්වනාගයම් ගිවිසුමට එරෙහි වීම, 1971දී ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල, 1971 පළමු ජනරජ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ යළි සුළු ජාතීන් නොසලකා හැරීම, අධ්‍යාපන ප්‍රමිතිකරණය ආදී සිදුවීම් හරහා ජාතීන් අතර විභේදනය වගේම සිංහල සමාජයේ පන්ති විභේදනය වැනි අවර කාරණා මෙරට දියුණුව ආලෝක වර්ෂ ගාණකින් ආපසු හරවන්නට සමත් විය.

යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් පසු ලද සාධනීය ජයග්‍රහණවලින් වැඩි පංගුව ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණයන්ය. එහෙත් එය එතරම් බරසාර ලෙස මෙරට සමාජය සාකච්ඡාවට ලක් කරන්නේ නැත. ඒ වෙනුවට සරල සිල්ලර සහ ජනප්‍රියවාදී 'වැඩ' කෙරෙහි අවධානය යොමුවීම මෙරට සමාජයේ ස්වරූපයය.

අද සමරනුයේ 71 වැනි නිදහස බව සැබවි. එහෙත් වඩා අර්ථවත් නිදහසක් වෙනුවෙන් වන වගකීම සෑම ශ්‍රී ලාංකේය මිනිසකුම වඩාත් බරට 'පපුවට' ගන්නවා නම් ඉතා මැනවි .

හැත්තෑ එක් වසරක් රටක් ලෙස මේ බිම ගොඩ නඟනවා වෙනුවට ඉන් අඩකට වැඩි කාලයක් මිඩංගු කරන්නට වී තිබුණේ දේශපාලන අලකලංචි සහ ව්‍යාකූලතාවලින් ගොඩ ඒමටත් කැරලි කෝලාහලවලට මුහුණ දෙන්නටත්ය. විදේශිකයන් මෙරටින් නික්ම ගියද ස්වදේශිකයන් එකිනෙකා කෙරෙහි උපන් නොපනත් හැඟීම් 'එක මවකගේ දරු කැළ බැවිනා' යන්න බොහෝ දුර සිහිනයක් බවට පත්කොට තිබේ. ලේ වල පැහැය රතු බව දනිතත් ඒ වෙනුවට ජාතිය ලේ වලට ලේබල් කරන ජාතිවාදී පැහැයක් විටින් විට සමාජයට එක් කොට තිබේ.

නිදහස ලබා ගන්නට ගිය ගමනේදී සියලුම ජාතීන්

ඒ වෙනුවෙන් කළ අරගලය අඩු ලංසුවකට දමා එහි සමස්ත ගෞරවය එක් පාර්ශ්වයක් විසින් ලබා ගන්නට වෑයම් කිරීමේ අභියෝගය ඉකුත් වසර 71 පුරාම දකින්නට ලැබිණි.

'බලය' උදෙසා ගනු ලැබූ සකලවිධ ප්‍රයත්නයන් හැරුණු කොට මෙරට තීරණාත්මක ප්‍රශ්න අරබයා ඵලදායිී මැදිහත් වීමක් කරන්නට දේශපාලන සංවිධාන අසමත් විය. වැඩවසම් මානසිකත්වයන්ගෙන් සමන්විත සමහරු සහ ගෝත්‍රික මානසිකත්වයක කටයුතු කරන ඇතැමුන් නිරන්තරව ස්වකීය පැවැත්ම වෙනුවෙන් පමණක් කාලය ශ්‍රමය වැය කළා මිසක ප්‍රජාතාන්ත්‍රීය ජයග්‍රහණ ගැන කිසිවිටෙක මායිම් කළේ නැත.

මාතෘකා