රාජ්‍ය සේවක අභිමානය

රාජ්‍ය සේවක අභිමානය

මෙරට රාජ්‍ය සේවකයෝ ලක්ෂ 14කට අධික ගණනක් මහජන සේවයේ නිරතව සිටිති. එය රටේ සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 7කට අඩු අගයකි. එහෙත් මෙරට ඉතිහාසය පුරා ඕනෑම ජාතික මැතිවරණයකදී රාජ්‍ය සේවක වැටුප් ප්‍රබල සටන් පාඨයක් බවට පත් විය. වර්තමානයේදීද එහි වෙනසක් නැත. මෙරට පොදු ජනතාවගේ එදිනෙදා ජීවිතයට රාජ්‍ය සේවකයන්ගේ බලපෑම අති විශාලය. උපත ලියාපදිංචියේ සිට මෘත දේහය වළ දැමීම දක්වාම ඔවුන්ට කළ හැකි බලපෑම දැවැන්තය.

පළාත් පාලන ආයතන සහ පළාත් සභා විසුරුවා ඇති විටෙක පවා අති විශිෂ්ට අන්දමින් තම සේවය ඉටු කළ පළාත් සභාවට සහ පළාත් පාලන ආයතනවලට අයත් සේවක සේවිකාවන් පිළිබඳ උදාහරණ ඕනෑතරම් සොයා ගත හැක. එමෙන්ම දැඩි දේශපාලන පීඩනය හමුවේ පවා, ජනතාවගේ පිලෙහි සිටගත් විප්ලවකාරී රාජ්‍ය නිලධාරීන් ගැන ඉතිහාසයේ ලියැවී ඇත. මූල්‍ය සහ පරිපාලන රෙගුලාසි අවස්ථානෝචිතව මහජන සේවය වෙනුවෙන් සුසර කරගත් රාජ්‍ය නිලධාරීන්ද රාජ්‍ය සේවයේ දුලබ නොවේ. නිකළැල්ව රාජ්‍ය සේවයේ යෙදීමේ ඇගයීමක් ලෙස හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්න මහතා වැන්නවුන් මෙරට ව්‍යවස්ථාදායකයට තේරී පත් වූයේ පසුගිය මහ මැතිවරණයෙන්ය. එවන් ආදර්ශ ඇසුරු කරගෙන රාජ්‍ය සේවය ගොඩනැඟීම පසෙකලා තම වෘත්තිය ගෞරවයට ඇතැම් රාජ්‍ය සේවකයන් හානි සිදු කර ගත් අවස්ථාද විටින් විට වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, 1994 අංක 19 දරන පනත යටතේ නිත්‍ය කොමිසමක් ලෙස ස්ථාපිත කර ඇත. එම ආයතනය වඩාත් කාර්යබහුල වූ කාල පරිච්ඡේදයක් බවට පසුගිය වසර කිහිපය පත් විය. එම කාර්යබහුලත්වයට හේතුව අල්ලස් සහ දූෂණ සිදු වූ ප්‍රමාණයේ වැඩිවීමකට වඩා, ඒවා වාර්තා වූ ප්‍රමාණයේ වැඩිවීමක් සහ චෝදනා කොමිසම වෙත ඉදිරිපත් වූ ප්‍රමාණයේ වර්ධනයක් ලෙස හැඳින්විය හැකිය.

අල්ලස් සහ දූෂණ චෝදනා සහිත 'තෝරුන්' නිදැල්ලේ සැරිසරද්දී 'හාල් මැස්සන්' පමණක් දැල්වලට හසු වීමේ ප්‍රවණතාව පසුගිය වසර කිහිපය තුළ වෙනස් වී තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, අමාත්‍යාංශ ලේකම්වරු වැනි ඉහළ රාජ්‍ය නිලධාරීන්ට සෘජුව චෝදනා එල්ල වෙද්දී දේශපාලන නායකත්වය, නීතියේ ආධිපත්‍යය තම පාක්ෂික බවට වඩා ඉහළින් රැඳවීමට ක්‍රියා කීරීම ධනාත්මක වර්ධනයකි.

රාජ්‍ය සේවකයන් තම අභිමානය පසෙකලා හුදු තාවකාලික මූල්‍ය වාසිය වෙනුවෙන් නිලය පාවා දුන් කිහිප දෙනකු පිළිබඳව මේ සතිය තුළද වාර්තා විය. කොක්අඩිචෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් වූ අතර හොරොව්පතාන ප්‍රදේශයේ විදුහල්පතිවරයකු විසින් හය ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා අල්ලස් මුදලක් ලබා ගනිද්දී නීතියේ රැහැනට කොටු වී තිබේ. එමෙන්ම බන්ධනාගාරය තුළට හෙරොයින් ග්‍රෑම් විස්සක ප්‍රමාණයක් රැගෙන යෑමේදී බන්ධනාගාර සැරයන්වරයකු ඊයේ දිනයේ කොටු විය. ඔහු භාවිත කළ බහාලුමේ තිබූ ජංගම දුරකථන දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත. විශේෂයෙන් බන්ධනාගාර සැරයන්වරයා මෙවන් වරදකට යොමුව ඇත්තේ රටේ ජනාධිපතිවරයා මත්කුඩු ජාවාරමේ නියුතු සිරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අවස්ථාවකදීය. එමෙන්ම එවන් ජාවාරමක් වෙනුවෙන් භාවිත වන ජංගම දුරකථන විශාල සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඇති බවට මාධ්‍ය හරහාද නිරතුරුව හෙළි කරමින් සිටින සමයකය.

රාජකාරියට අවංකව, ජනතාවට හිතවාදීව ක්‍රියාත්මක වන මෙරට රාජ්‍ය සේවකයන් හමුවේ තවත් සරල නමුත් වැදගත් අභියෝගයක් ඇත. ඒ, තම වෘත්තිය අභිමානය පහතට ඇද දමා කටයුතු කරන සෙසු රාජ්‍ය සේවකයන්ගේ ක්‍රියා කලාපයට විරෝධතාව දැක්වීමයි. ඊට එරෙහි වීමයි. සහෝදර රාජ්‍ය සේවක ප්‍රජාවගේ ක්‍රියා කලාපය වඩා පැහැදිලිව දෘෂ්‍යමාන වන්නේ ඔවුන්ටය. රාජ්‍ය සේවය දේශපාලකයන්ගේ අතකොළුවක් හෝ බළල් අතක් වීමේ ඉඩ ඇහිරිය හැක්කේද ඔවුන්ටමය. එලෙස ක්‍රියා කරන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතා පවුරු නිරායාසයෙන් ගොඩ නැඟෙනු ඇත.

මාතෘකා