ලෝකය හමුවේ නිරාවරණය වන සරසවි නිරුවත

ලෝකය හමුවේ නිරාවරණය වන සරසවි නිරුවත

මෙරට සරසවිවල ක්‍රියාත්මක වන නවකවදය හා ඒ ආශ්‍රිතව සිදු වන ලිංගික හිංසන බෙහෙවින් කම්පාසහගත බවත් එය නැවැත්වීමට වහා පියවර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ. එහි නියෝජිතයන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මේ අදහස් පළ විය. 50, 60 දශකවල මෙරට සරසවිවලට තෝරාගනු ලැබූ කිසිම සිසුවකු නවකවදය නිසා සරසවි හැර ගිය බවක් කිසිවකු අසා නොමැත. ඊට හේතුව එවැනි පහත් සම්ප්‍රදායක් එහි නොතිබීමය. තිබුණා නම් තිබුණේ නවකයා ජ්‍යේෂ්ඨයකු හා ඉන් පසුව වැඩිහිටි රටවැසියකු බවට පත් වූ පසුවද අනුස්මරණය කළ හැකි මට්ටමේ හිංසාකාරී නොවූ සොඳුරු සිදුවීම් සමුදායකි.

එමෙන්ම එම කාලයන්හි උසස් අධ්‍යාපනය ලබා මෙරට විවිධ වෘත්තීයමය ක්ෂේත්‍රයන්ට එක් වූ සබුද්ධික රටවැසියන්ගෙන් මෙරට මැද පන්තියේ විචාරශීලී සමාජ ස්ථර ගණනාවක් ගොඩනැඟුණු බවට සාධක ගෙනහැර දැක්විය හැකිය. මෙකල සරසවි වධකාගාර බඳුය. මාරාන්තික තරගකාරී විභාගයකින් යන්තම් එගොඩ වී සරසවි පිවිසෙන තරුණ තරුණියන්ගේ දුක්ඛිත ඉරණම ආපන ශාලාවෙන් ඔවුන් අනුභව කරන හිඟන බත්පතෙන්ම හඳුනාගත හැකිය.

සංවේදීකම් මරාගත් පරිපාලනයක් සහ එවැනිම ගුරු මණ්ඩලයක් සමඟ කට්ට කෑමට ඉන්පසු ඔවුනට සිදු වේ. කුසට ලැබෙන දුෂ්පෝෂණයට හේතු වූ ආහාර ටිකට සමානවම බුද්ධිමය දරිද්‍රතාවට මුල් වූ වඳ අධ්‍යාපනයක් ඔවුන්ට ලැබේ. අනේකවිධ වධබන්ධනයන්ට ගොදුරු වන ඔවුහු තම සහෝදර සිසුන්ට වධ දීමෙන් කෲර සතුටක් ලබති. වධයට මුහුණ දුන් අය ඊළඟ වසරේදී සරසවියට එන නවකයන්ගෙන් ජ්‍යේෂ්ඨයන් ලෙස වාඩුව ගනිති. ලිංගික හිංසනයට ලක්වන්නන්ගේ පැටිකිරියද එබඳුය.

වසරක් පාසා සරසවිය හැරයන පිරිස විශාලය. නවකවදය ගැන කලින්ම දැනගැනීම නිසා සරසවිය හැර වෙනත් විකල්ප සොයාගත් තරුණ තරුණියන්ගේ ජීවිත ගැන වෙනම පොතක් ලිවිය හැකිය.

වඩාත් අවාසනාවන්ත කරුණ වන්නේ නවකවදය නිසා මියයන්නන්ගේ ලැයිස්තුවද වැඩි ප්‍රසිද්ධියක් නොලබාම දිගු වීමය. මේ තත්වය මත තම දරුවන් සරසවි වරම් ලැබීම අවාසනාවක් කොට සලකන දෙමව්පියන්ගේ ගණනද ඉහළ යමින් පවතී.

සරසවි සිසුන් කෙරෙන් ප්‍රදර්ශනය වන්නේ සමාජගත ප්‍රචණ්ඩත්වයම මිස අන් කිසිවක් නොවේ.

කෙනකුට රිදවා සතුටක් ලැබීම සාදිස්මය [sadism] නමැති මානසික ස්වභාවයෙහි ප්‍රතිඵලයකි. මෙය වැළැක්විය හැක්කේ එසේ සතුටු වන්නාට තම මානසික ස්වභාවය ගැන අවබෝධයක් ලැබීම මඟින් ඇති වන ලැජ්ජාව ඔස්සේය. එය ඇති කළ හැකි එක් මඟක් නම් අධ්‍යාපනයයි. අනෙක් මඟ නම් මානව චර්යා අධ්‍යයනයක නිරතවූ ඩෙස්මන් ‍මොරිස්ගේ 'නිරුවත් වානරයා' සහ 'මනුසත් උයන' යනාදී විවිධ පොත් කියවීමයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට සීමා වූ සිසුන් මෙවැනි පොත් කියවතැයි අපේක්ෂා කළ නොහැක. පාසල් ගුරුවරුන් පමණක් නොව විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් බහුතරයද මේ පොත් නොකියවති.

වඩාත් ලැජ්ජාසහගත කරුණ වන්නේ නවකයන්ට වදය දුන් ඇතැම් ජ්‍යේෂ්ඨයන්ද සරසවි ඇදුරන් බවට පත් වූ පසුව නවකවදය පිළිබඳ මුනිවත රැකීමය. නොඑසේ නම් නවකවදයේ ආදීනව ගැන වැදිබණ කීමය. ඇතැම් සරසවි ගුරුවරුන්ට විවිධ ව්‍යාපාරවල යෙදීම මිස වධකයන් ගැන සෙවීමට කාලයක් හෝ ඕනෑකමක්ද නැත. ඊනියා ශිෂ්‍ය සංගම්ද තම ගොඩ වැඩි කර ගැනීමේ බාධාවක් වේදෝයි සිතා නවකවදයට එරෙහිව කිසිවක් නොකරති. එසේත් නැත්නම් ඔය කියන තරම් වධයක් නැතැයි කියති.

සරසවියෙදී නවකවදයට එරෙහි වන විද්‍යාර්ථියා කොන් කරනු ලබයි. පළිගැනීම්වලට ලක් වෙයි. පරිපාලනය හා ගුරුවරුද වගේ වගක් නැතිව සිටිති. වර්ෂික පිරිත් මංගල්‍යය හා වෙසක් කූඩු සංදර්ශනයට දක්වන උනන්දුව තරමේ උනන්දුවක්වත් හිංසනය තුරන් කිරීම සම්බන්ධයෙන් නොමැත. වඩාත් හාස්‍යජනක කරුණ වන්නේ දරුණු ගණයේ හිංසකයන්ද වෙසක් වැඩසටහන්වල හා 'පිරිත් මණ්ඩප්පවල' දක්ෂ සංවිධායකවරුන් වී සිටීමය. මේ දෙබිඩිකම හා කුහකකම ඔවුන් හැදී වැඩුණු සමාජ දේශපාලන සංස්කෘතියේම ප්‍රතිඵලයකි.

වධකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාද විශ්වවිද්‍යාලයේ වගකිවයුත්තන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බව පෙනේ. ඔවුන්ද අන්තිමේදී 'ළමයින්ගේ පැත්ත' ගැනීම සුපුරුදු නාටකයකි. මේ නාටකය රඟ දැක්වූවා හොඳටම ඇතිය. එය අවසන් කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ හා නීතිය ක්‍රියාත්මක කිරීම නොපමාව කළ යුතුය. සරසවිය අශිෂ්ට ම්ලේච්ඡත්වයෙන් නිදහස් කළ යුතුය.

මාතෘකා