ගොනා හැරෙන්නේ පොල් පැළේ පැත්තටයි

ගොනා හැරෙන්නේ පොල් පැළේ පැත්තටයි

මේ දිනවල රට ගලවා ගැනීමේ වීරයෝ පහළවෙමින් සිටිති. ජනාධිපතිවරණය උරගලක් කරගත් එවැන්නෝ රට, ජාතිය සහ ආගම බේරා ගැනීම සඨන් පාඨය කෙළින් කරති. එහිදී කැපී පෙනෙන පොදුජන පෙරමුණු අපේක්ෂකයා ඇමරිකන් පුරවැසියකු බව රටම දනී. අපේ රටේ ඇතැම් ජාතිහිතෛෂීන් බඩ රස්සාව පිණිසද ජීවිතාරක්ෂාව සඳහාද නීතියෙන් ගැලවීම පිණිසද යන්නේ මෙරටදී තම විවේචනයට ලක්වන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලටය.

මෙවර පොදුජන පෙරමුණු අපේක්ෂකයා ද බටහිරට ගැති නොවූ රටක් හැදීම ගැන කතා කරයි. එහෙත් නව හමුදාපතිවරයා පත්කිරීමේදී ඇමරිකන් තානාපති කාර්යාලයෙන් පළවූ කනස්සල්ල ගැන කිසිවක් නොකියයි. එමෙන්ම බටහිර රටවලින් මිදුණු ස්වාධීන ආර්ථික ප්‍රතිපත්ති මොනවාදැයි පැහැදිලි නොකරයි.[එවැනි ප්‍රතිපත්තියක් තිබිය හැකිද යන්න වෙනම කතාවකි.]

ආසියානු රටවලට ආවේණික වූ පවුල් දේශපාලනයෙන් මිදුණු නායකත්වයක් මෙවර ඇතැයි කටක් ඇර කීමේ හැකියාවක්ද නැත.

මෙවර ජනාධිපතිවරණ සටන සඳහා තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව මුලින්ම ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසිනි. තම පක්ෂය යැයි ඔහු හැඳින්වූයේ පොදුජන පෙරමුණ වුවද හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ වෙනත් පක්ෂයකිනි. ඒ අනුව එය ජනමතයට පිටුපා යෑමකි. ඒ වැරැද්දට නෛතිකභාවය ලබා දුන්නේ ඔහුගේ චිරකාලීන මිතුරකු වන හිටපු අගවිනිසුරුවරයාය. පක්ෂය මාරුකරන විට මන්ත්‍රීධුරය අහෝසි වන යෝජනාව නීතියෙන් පිළිගෙන තිබුණේ නම් පොදුජන පෙරමුණු නායකයා අද වන විට හිටපු මන්ත්‍රීවරයෙකි.

ඊළඟට පක්ෂයේ කෙනෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ ජනප්‍රිය ප්‍රවාදය බලමු.

අයියා මේ කතාව මුලින්ම කීවේය. මල්ලිලා දෙන්නා, ලොකු අයියා සහ පුතාලා මේ කතාව රටපුරා ගෙන ගියහ. අන්තිමේදී ලොකු මල්ලී අපේක්ෂකයා ලෙස නම් කෙරුණේ සුගදාස පිටියේදී උත්සවාකාරයෙනි. මෙහිදී සබුද්ධික රටවැසියන්ට ඇති වන ගැටලුවක් ඇත.

එනම් හිටපු ජනාධිපතිවරයා පක්ෂය හැටියට සලකා ඇත්තේ පවුලද?

මේ ප්‍රශ්නය නායක වන්දනාවෙහි යෙදෙන ඡන්දදායකයින් නම් නොඅසනු ඇත. එමෙන්ම ඔක්තෝබර් විප්ලවයේ ආස්වාදයෙන් ලෝක සමාජවාදය ගැන මරහඬ නඟා අවසන වැඩවසම් වළව්වල වළං හෝදන ඉහනිකට පැහුණු රතු වහලුන් නම් නොඅසනු ඇත.

එහෙත් මේ රටේ අනාගතය පිළිබඳ තීන්දු ගැනීමේදී වහල් චින්තනය අනුව කටයුතු කරන ජනකායට වඩා වැදගත් වන සබුද්ධික ජනතාවක් සිටින බව අමතක කළ යුතු නොවේ. 2015 දී සිදු වූ දේශපාලන පෙරළියට ගාමක බලය සැපයූවේ ඔවුන් විසිනි. එනිසා බටහිර කුමන්ත්‍රණවලට එරෙහිව ජාතික දේශපාලනයක් ගැන කතා කරන වංචනිකයන් මේරට වහලුන් ජීවත් වන රටක් ලෙස සිතන්නේ නම් 2015දී ඉගෙනගත් පාඩමට වඩා ලොකු පාඩමක් නුදුරේදීම ඔවුන්ට ඉගෙනීමට සිදු වනු නිසැකය.

අනෙක් වැදගත් කරුණ නම් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙක කිසිදා මෙරට ජනතාව අන්තවාදයකට ඇදගෙන නොගිය බවය. පොදුජන පෙරමුණේ නායකයන් ඡන්දය ලබාගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනමෙනි. ඉන් පසුව පක්ෂය මාරු කළ නායකයින් එම පක්ෂයට සම්බන්ධ ජාතිවාදී කල්ලිවල රූකඩ බවට පත්ව ඇත.

ඒ අනුව නගුටට අනුව බල්ලා නටන තත්වයක් උද්ගතව ඇත. එහෙත් ප්‍රමාද වී හෝ ශ්‍රීලනිපයට අවංකවම ආදරය කරන නායකයන් මෙය තේරුම්ගෙන සිටින බව පෙනේ. රට ජාතිය හා ආගම ගැන ජපකරමින් එක් පවුලක් තම පක්ෂය විනාශ කරන ආකාරය ඔවුන්ට වැටහී තිබේ.

රාජ්‍ය දේපළ කොල්ලකෑම, විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම හා මිනිස් ඝාතන යන දුෂ්ඨකම් නිසා තම පක්ෂය දේශපාලන භූමියෙන් අතුගෑවී යන තත්වයක් නිමාණය වූ ආකාරය සැබෑ පාක්ෂිකයෝ වටහා ගනිමින් සිටිති. ඒ නිසා ගොනා හැරෙන්නේ පොල් පැළේ පැත්තටම බව සබුද්ධික රටවැසියන්ට අලුතින් කියා දිය යුතු නොවේ.

මාතෘකා