ආචාරධර්ම කාටද

ආචාරධර්ම කාටද

සමාජයේ ගිනි නිවීම සේම ගිනි තැබීමද මාධ්‍යට ඉතා පහසුවෙන් කළ හැක්කකි. වගකීම් විරහිතව සහ දේශපාලන න්‍යායපත්‍රවලට අනුගතව කටයුතු කරන කල්හි ස්වකීය පාලනයෙන් මාධ්‍ය මිදී යන අතර එය නවතින්නේ මුළුමහත් සමාජයම ව්‍යාකූලත්වය, අපේක්ෂාභංගත්වය සහ විනාශය දක්වා ව්‍යාප්ත වීමෙනි.

මාධ්‍යයක පළවන අකුරක් පාසා අත්හැරිය නොහැකි වගකීමක් බවට පත්වන්නේ එයින් සිදුවන බලපෑම සුළුපටු නොවන නිසාය.

ඉකුත් අගෝස්තු 12 වැනිදා 'රැසෙහි' ගවේශනාත්මක විශේෂාංගයක් පළවිය. 'හොරොව්පතානේ පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට පත්වීම - බැංකු ගිණුමේ කෝටි සීයේ කතාව බොරුවක්' යන ශීර්ෂය යටතේ එය පළවිය.

එකී ශිර්ෂය දකින්නකු ඇතැම් විට අනුමාන කරනුයේ අදාළ පුවත 'රැස' විසින් පළකොට පසුව එහි නිවැරදි කිරීම අප විසින් සිදු කළා කියාය.

නමුත් කිසිසේත්ම එය එසේ නොවේ. වෙනත් මාධ්‍යයක් විසින් ඡායාරූප යොදාගෙන කරන ලද 'වගකීම් විරහිත' වාර්තාකරණයක් හේතුවෙන් බරපතළ මානසික සහ සමාජ පීඩනයකට ලක් වූ පිරිසකගේ නිරවද්‍යභාවය සනාථ කිරීම එහි අභිලාෂය විය.

පව් කළේ කවුරුන් වුවද සෝදා හැරීම ශිෂ්ට ස්වභාවය යැයි අපි හඟිමු.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් මහාචාර්යවරයකු වන මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න වරක් ලියා තිබුණේ ජනමාධ්‍ය සඳහා වෙනම සැකැසූ විශේෂ ආචාරධර්ම පද්ධතියක් අවශ්‍ය නොවේ කියාය. හෙතෙම අවධාරණය කරන්නේ කල්පනාකාරීව තමන්ගේ වෘත්තිය ඉටු කරන්නේ නම් මාධ්‍ය සදාචාරය නිතැතින්ම රැකෙනු ඇති බවත් තමන් ලියන දෙය නිසා සිදු වන්නේ කුමක්ද යන්න නොසොයා නොබලා කටයුතු කිරීම නිසා බොහෝ අවස්ථාවල ගැටලු මතු වන බවත්ය. එහෙත් යහපත් සිහියෙන් හා යහපත් දැක්මකින් යුතුව මාධ්‍යවේදීන් තම වෘත්තියේ යෙදෙන්නේ නම් ඕපාදූප වැනි ප්‍රවෘත්ති පළ වන්නේ නැති බව ඔහු පවසයි.

ඔහු එසේ කීවද යථාර්ථය ඊට වඩා බොහෝ ඈතය.

වත්මන් මාධ්‍ය කර්මාන්තය තුළ කල්පනාකාරීව තමන්ගේ වෘත්තිය ඉටු කරන්නෝ සිටිත්ද? අනෙක් අතට දේශපාලන න්‍යායපත්‍ර මත සහ පුද්ගලික රුචි අරුචිකම් මත කටයුතු කරන මාධ්‍යවේදීන් බොහොමයක් වෙතින් එකී වගකීම ඉටුවේද?

මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේදී සත්‍යවාදී බව, නිදහස, හානිය අවම කිරීම, වගකිව යුතු බව යන මූලධර්ම හතර පිළිබඳව සාකච්ඡාවට භාජනය කළ හැකිය.

එහෙත් ජනසම්මතයැයි අදහන මාධ්‍ය බොහොමයක් එකී සරළ මූලධර්ම පවා ඉතා සැහැසි ලෙස බිඳ දමන අවස්ථා එමටය.

නිවැරදි සමබර තොරතුරු දැන ගැනීමට මහජනතාවට ඇති පරම අයිතිය අසත්‍ය, වැරදි, අසමබර තොරතුරු මඟින් කලත්තා සිදු කරනු ලබන හානිය කොතරම් බලවත්ද?

යමක් මාධ්‍යයක පළවූ විට හෝ ප්‍රචාරය වූ විට ඊට විශේෂිත පිළිගැනීමක් මේ සමාජයෙන් ලැබේ. සාක්ෂිකරු පවා චූදිතයකු සේ දකින තරමේ දුර්මුඛ සමාජයක් මෙරට වෙයි. එනයින් ගත්කල පුවතකින් පුද්ගලයකු හෝ පිරිසක් වෙත චෝදනා එල්ල කළ විට ඔවුන්ව කටු ඉඹුලේ නංවන්නට සමාජයක්ම සැදී පැහැදී සිටී.

අනෙක් අතට දැන් මොහොමයක් මාධ්‍ය; සැකකරුවා සහ වැරදිකරුවා යනු දෙදෙනකු නොව එකකු ලෙස සලකයි. ඒ අනුව සැකකරු චූදිතයකු බවට හංවඩු ගසා මාධ්‍ය ඔහුගේ ඉරණම තීන්දු කරයි.

තව නොබෝ දිනකින් තීරණාත්මක මැතිවරණයක් එයි. මාධ්‍යයට පැවරී තිබෙන කාර්යභාරය සුළුපටු නොවේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වෙන කාලසීමාවලදී පමණක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ආචාරධර්ම හඳුන්වා දී තිබේ. නමුත් ඒවා කඩ කළ විට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ද වික්ෂිප්තය.

තවත් අතකින් ගත්කල ආචාරධර්ම හඳුන්වා දෙන්නන් විසින්ම ඒවා තූතූ කොට දමනවානම් තවත් මොන කතාද?

එය හරියටම 'කපුවා දේවාලේ මූත්‍රා කළාට කමක් නෑ' වැනි ක්‍රියාවකි.

මාතෘකා