ඡන්දදායකයනි, සීරුවෙන්!

ඡන්දදායකයනි, සීරුවෙන්!

ජනාධිපතිවරණයක් ළඟ ළඟ ම එයි. පළාත් සභා මැතිවරණයද කොයි මොහොතේදී හෝ පැවැත්වීමට නියමිතය. ඒ අතරතුර පොදු ජන එක්සත් පෙරමුණ තම අපේක්ෂකයා නම් කළේය. එය සිදු වූයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ආකර්ෂණීය උත්සවයකදීය. එය අවසන් වූයේ අගනුවර සහ අනෙකුත් නගරවල රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් පුපුරුවා හැරීමෙනි.

අපේක්ෂකයකු නම් කිරීම මෙසේ අවසන් වූවා නම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් ලැබුණහොත් මොන ගිනිගෙඩියකින් කෙළවර වේදැයි සිතා ගැනීමට පවා අසීරුය.

එම සිදුවීමෙන් අනතුරුව බදුල්ල ප්‍රයිස් පිටියේදී එජාප රැළියක් පැවැත්විණ. එම පක්ෂය විසින් මේ වන තුරු තම අපේක්ෂකයා කව්දැයි නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් අපේක්ෂකයා නම් කිරීම පිළිබඳ ඇති උද්‍යෝගය හා ආතතිය කෙබඳු දැයි එයින් පෙනිණ. ඉදිරියේදී තවත් පක්ෂවලින් තම අපේක්ෂකයන් නම් කිරීමට නියමිතය.

එහෙත් මෙහිදී වැදගත් වන කරුණ වන්නේ ජනාධිපතිවරණය සඳහා තවමත් නාම යෝජනා කැඳවා නැති බවය. එහිදී මැතිවරණ දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමිසම කටයුතු කරන ආකාරය තීරණාත්මකය.

අධිකරණයෙහි පවතින නඩු විභාගවල චූදිතයන් වී සිටින අපේක්ෂකයන්ට නාම යෝජනා නොදෙන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාට දැනටමත් ඉල්ලීම් ලැබී ඇත. එමෙන්ම ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකිදැයි අධිකරණයෙහි මතය විමසා ඇත. එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් සියලු දේශපාලන පක්ෂවල මැතිවරණ න්‍යාය පත්‍ර අලුතෙන් සකස් කිරීමට සිදුවනු නිසැකය.

කවර අරුතෙන් බැලුවද ඉදිරි මැතිවරණ ප්‍රධාන දේශපාලන පක්ෂවලට මෙන්ම අනෙකුත් පක්ෂවලටද තීරණාත්මකය.

මෙවර ජනාධිපතිවරණයේදී 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම සෑම අපේක්ෂකයකුටම අසීරු විය හැකි බවට දැනටමත් මත පළවෙමින් පවතී. ඊට සාධාරණ හේතුවක් ඇත. 2015 දේශපාලන පෙරළියෙන් අපේක්ෂා කළ වෙනස්කම්වලින් ඇතැම් ඒවා ඉටුවී ඇතත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම පෙරළියට දායකවූවන්ගේ සිත්හි කලකිරීමක් පවතී. අනක් අතට පරාජිත පාර්ශ්වයට බලය හිමිව තිබූ අවධියෙහි සිදු වී ඇති අපරාධ සහ මූල්‍ය වංචා පිළිබඳ සමාජගත වී ඇති කරුණු අනුව ඔවුන් පිළිබඳවද විශාල ජනප්‍රසාදයක් ඇතැයි කිව නොහැක. අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් ලැබීමේ ප්‍රමාදය අනුව අපරාධ චෝදනා අහෝසි නොවේ.

එමෙන්ම අපේක්ෂා භංගත්වයට පත්වූ සබුද්ධික ජනතීරු, සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් ද පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් හෝ ඇතැම් විට සිව්කොන් සටනක් බවටද පත්වීමේ විභවයක් පවතී. මේ නිසා ඉතිහාසයේ පළමු වැනි වරට දෙවැනි හා තෙවැනි මනාපයද ගණන් කිරීමට සිදු විය හැකිය. එනිසා ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව ඡන්දදායකයන්ට පූර්ව දැනුමක් ලබා දිය යුතු වේ.

මැතිවරණයකදී අපේක්ෂකයන් වියදම් කරන මුදල් සම්බන්ධයෙන් සීමා පැනවීමේ අදහසද කාලෝචිතය. එහෙත් එය පලදායක වීමට නම් ක්‍රියාත්මක කිරීමේ නීති රෙගුලාසි අවශ්‍ය වේ.

අපේක්ෂකයන් නම් කිරීම සහ සෝදා පවිත්‍ර කිරීමේ මාධ්‍ය මෙහෙයුමද ඇරඹී ඇත. මාධ්‍ය මුදලාලිලා තමන්ට නැති බලයක් භාවිත කරති. එය මාධ්‍යයේ වගකීමෙන් ඔබ්බට යෑමකි.

නාම යෝජනා දී නැතත් ප්‍රචාරක මෙහෙයුම්‍ සඳහා සමාජ මාධ්‍ය භාවිතයද ආරම්භ කර තිබේ.

එක් දේශපාලකයකුගේ වෙබ් අඩවිය ප්‍රතිවිරුද්ධ පිලේ අපේක්ෂකයාගේ මාධ්‍ය කල්ලිය විසින් හැක් කරනු ලැබීම අශිෂ්ට ක්‍රියාවකි. බලය නැති විට හැක් කිරීම වැනි තුට්ටු දෙකේ වැඩ කරන උදවිය බලය ලැබුණු විට හැසිරෙන අන්දම පිළිබඳ අනුමාන කළ හැකිය. පූර්ව අත්දැකීම්ද සිහි කර ගැනීම වටී. අපේක්ෂකයන්ගේ චරිත ඝාතනය කරන සමාජ මාධ්‍ය පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද අනතුරු ඇඟවීමක් කර ඇත. මේ සියලු අලකලංචි මැද දේශපාලන පක්ෂ අනුගාමිකයෝ තම නායකයා රජ වීම ගැන ස්වයං මෝහනයට පත්ව සිටිති. රතිඤ්ඤා පත්තු කිරීම හුරේ දැමීම සහ විරුද්ධ පිලේ අනුගාමිකයන්ට චණ්ඩි පාට් දැමීම ඔවුන්ගේ මැතිවරණ චර්යා අතර කැපී පෙනේ. මේ සියලු කරුණු අනුව පෙනෙන්නේ අපේ රටේ ඡන්ද දායකයන් වෙනුවට ඇත්තේ පක්ෂවල වහලුන් බවය. නිදහස් ඡන්ද අයිතිය පල දරා නැත්තේ එහෙයිනි.

මාතෘකා