වැව් බද්දට දී මාළුන්ට දත නියවීම

වැව් බද්දට දී මාළුන්ට දත නියවීම

"වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වගේ" මෙය ප්‍රකට ජනකියමනකි. එය අලුතින් ලියන්නට රැසට සිදුවිය; මිහින්තලය හා කහටගස්දිලිය ප්‍රදේශය පසුබිම් කරගත් පුවතක් ඔස්සේය. මේ පුවතින් අනාවරණය කෙරුණේ ගොවි සංවිධාන වැව්වල ජලය හිතුමතේ ඉවත්කොට මසුන් ඇල්ලීම සඳහා බදු දෙන බවය. ඒ අතර ගමේ අහිංසකයකු මාළුවකු බිලී බෑම බරපතළ වරදක් ලෙස සලකා ඔහුට එරෙහිව දණ්ඩනවේදය ක්‍රියාත්මක කරන්නට යන බවය.

මේ නම් අරුම පුදුම සිදුවීම්ය.මේවා සිදු වන තරමට අපේ රට අමුතු රටක් බවට පත්ව තිබේ. කෘෂි බලධාරීන් මෙය දැනගත්තේ රැස පුවතෙනි. මසුන් ඇල්ලීම සඳහා වැව් බදු දීමේ අනුමැතිය දී ඇතත් වතුර බැස්සවීමට අනුමැතිය දී නැතැයි අනුරාධපුර ගොවිජන සේවා සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණි.

මේ දිනවල හත්කෝරළය සහ නුවර කලාවිය ප්‍රමුඛව දිවයිනේ බොහෝ පළාත්වල දැඩි නියඟයක් පවතී. කන්න පහක් පිටපිට පාළු වීමෙන් පසුව එක කන්නයකට සරිලන තරමින් වැසි වැස්සේය. දැන් ආයෙත් පෑවිල්ලය. වැව් දියවර සිඳී යමින් පවතී. ගොවි ගෙදර අටුකොටු හිස් වීමෙන් නොනැවතී ගහකොළ සතා සීපාවාගේ පැවැත්ම කෙරෙහිද පෑවිල්ල බලපායි. කොටින්ම වනෝද්‍යාන අභ්‍යන්තරයෙහි කෘත්‍රිම වැව් නිමාණය කිරීමට සිදුව ඇත. නැත්නම් සත්ව ගහන අනතුරේය. එවන් තත්වයක් තිබියදී ගොවි සංවිධාන කර ඇති මුග්ධ හා සාපරාධී ක්‍රියාව කිසි සේත් අනුමත කළ නොහැක.

මසුන් ඇල්ලීම සඳහා වැව් බදුදීම ගොවි සංවිධානවලට කීයක් හරි ලැබීමේ මඟකි. එහෙත් ස්වාභාවිකව වැව හිඳී යන මෙහොතේ මිස වතුර බස්සවා වැව් බදුදීමේ ක්‍රමය අනුමත කළ නොහැක. එහෙයින් මේ පිළිබඳ බලධාරීන් වහාම පරීක්ෂණයක් කළ යුතුය. දැඩි නියංකාලයෙහි වුවද වියළි කලාපයෙහි ජෛව සමතුලිතතාව ආරක්ෂා කිරීම කෙරෙහි වැව්වල බලපෑම සුලුපටු නොවේ.

වැව යනු විස්මිත දේශජ නිර්මාණයකි. ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි ඉහළම දායාදය වැව් කේන්ද්‍ර කරගත් ජලතාක්ෂණවේදයයි. සමතලා බිමක පැතිරුණු ජල ආස්තරණයක් තිබීම පොළොව වියළීම වළකයි. වැව කේන්ද්‍ර කරගත් කෙත් යාය කදිම ජලාශ්‍රිත පරිසර පද්ධතියක් නිමවයි.

හරි නම් ගොවි සංවිධාන දැඩි නියං සමයක කළ යුත්තේ වැව හෝ වැව් එල්ලංගාවෙහි පෝෂක ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමය. එහිදී පෝෂක ප්‍රදේශ පරිහරණයට ගෙන තිබේ නම් නීත්‍යානුකුලව ඒවා නිදහස් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් සමඟ සාකච්‍ඡාවක් ඇරඹිය හැකිය.

අතීතයෙහි ගමේ වැව හිඳුණු විට අල්ලාගන්නා මසුන් ගොවි පවුල් අතර සාමූහිකව බෙදා ගැනීමේ ක්‍රමයක් පැවතිණ. මෙය "වෙල් පංගුව"යි. ඒක්‍රමය සමානාත්මතාවට එකඟය. වත්මනෙහි ගොවියකුට මාළුවකු අල්ලාගත නොහැක. ගොවි සමිතිය හෝ ධීවර සමිතිය හරස් වෙයි. ඒ මදිවාට වැවේ ශේෂ වන වතුර ටිකටද කෙළින ක්‍රමයක් සොයාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාව සාමූහික ශක්තියෙන් එකට බඳින ලද්දේ පළමු වැව කැණවූ පණ්ඩුකාභය රජු විසිනැයි ලියා තැබුවේ හෙළදිව මහගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ විසිනි. වැව කේන්ද්‍ර කරගත් ගැමි සමාජය සුනුබුන්ව විසිර ගියේ ආත්මාර්ථකාමිත්වය රජ කරවමිනි. මොන රජා පහළ වුණත් ගමට රටට වැඩක් නොවන්නේ මේ සාමූහිකත්වය උරුම කරදුන් ජනවේදය නොතකා හරින හෙයිනි. කෙතරම් දුෂ්කර වුවද සමාජයේ සාමූහිකත්වය යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් තොරව රටට අනාගතයක් නැත.

මාතෘකා