මිනීමරුවන්ට දඬුවම් දීම

මිනීමරුවන්ට දඬුවම් දීම

දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම පිළිබඳව මතකය නැවතත් අලුත් වෙමින් පවතී. ඊට ආසන්නම හේතුව මේ ක්‍රීඩකයාගේ සිරුරෙන් ලබාගත් අස්ථි කොටස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබීමය.

මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාදීමේදී බරපතළ වරදක් කර ඇති බව අනාවරණය වේ. තාජුඩීන්ගේ මරණයට හේතුව ලෙස වෛද්‍යවරයා දක්වා තිබුණේ රිය අනතුරක් සහ ගින්නකි. එහෙත් පසුව පත්කරන ලද විශේෂඥ වෛද්‍ය මණ්ඩලය දක්වා තිබුණේ මොට්ට ආයුධයකින් පහරදීම නිසා ඇතිවූ බරපතළ තුවාල සහ ගින්න මරණයට හේතු වී ඇති බවය. මෙහිදී අධිකරණ වෛද්‍යවරයා කාගේ හෝ බලපෑමකට ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාවක් සකස් කර ඇත යන සාධාරණ සැකයක් මතු වේ.

මෙය අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නිසා ජනමාධ්‍යයට නිගමන දීමේ හැකියාව නැත. එහෙත් තාජුඩීන් ඝාතනය පිළිබඳ පරීක්ෂණ පසුගිය ආණ්ඩු පාලන සමයේ සිදු වූ ආකාරය මෙරට ජනතාව හොඳින් දන්නා නිසාත් 2015 මැතිවරණ ව්‍යාපාරයේදී ආණ්ඩු විරෝධී බළමුළුව තාජුඩීන් ඝාතන පරීක්ෂණ හරියාකාරව කරන බවට පොරොන්දු වූ නිසාත් සබුද්ධික පිරිස් මේ ගැන විමසිල්ලෙන් සිටීම යුක්ති යුක්තය.

තාජුඩීන් ඝාතනය යනු පසුගිය පාලන සමයෙහි සිදු වූ ම්ලේච්ඡ ඝාතනවලින් එකක් පමණි. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට සෘජුවම චෝදනා එල්ල විය. එහෙත් ඝාතනය රිය අනතුරකින් සිදු වූ බවට ඒත්තු ගැන්වීම සඳහා පොලිසිය හා තවත් ආයතන තමන්ට වුවමනා විදියට හසුරුවන දේශපාලන හස්තයක් ක්‍රියාත්මක විය. ඝාතනය පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග සම්පූර්ණ වීමට පෙරම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් බව ප්‍රකාශ කළේය.

මෙහිදී නාරාහේන්පිට පොලිසියේ සමහර නිලධාරීන්ගේ හැසිරීම පිළිකුල්සහගත විය. දේශපාලන බලය ඉදිරියේ නීතිය නැවීමේ සම්ප්‍රදාය කැපී පෙනිණ.

තාජඩීන් ඝාතනය ඇතුළු විවිධ අපරාධ හා මූල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණ නැවත වටයකින් ආරම්භ වූයේ යහපාලන ආණ්ඩුව යටතේය. එහෙත් දේශපාලන ප්‍රභූ පවුල්වලට එරෙහි ඇතැම් පරීක්ෂණ ක්‍රියාත්මක වූයේ මන්දගාමීවය. බාලගිරි දෝෂයට අසු වූ පරිද්දෙනි. සිරිලිය සවිය වංචාව පිළිබඳ පරීක්ෂණයක් සිදු නොවීය.

දෙමාපිය සමරු ස්මාරක ගොඩනැගීම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීමේ චූදිතයා විවිධ හේතු දක්වමින් අධිකරණය මඟ හැරීම කරගෙන යයි. තාජුඩීන් ඝාතන පරීක්ෂණය සඳහා ඇතැම් පාර්ශ්වවලින් අධිකරණයට අවශ්‍ය සහාය නොලැබෙන සෙයක් දිස් වේ.

නුදුරේදී එළඹෙන්නේ මැතිවරණ සමයකි. මැතිවරණයක් ආසන්නයේදී හොරු ඇල්ලීම හා මිනීමරුවන්ට දඬුවම් දීම පිළිබඳ උද්වේගකර කතා අසා පුරුදු ජනතාවට තාජුඩීන් ඝාතකයන්ට දඬුවම් දීමද ප්‍රබන්ධ කතාවක් බවට පත් වීමේ ඉඩකඩ වැඩිය. එනිසා එම සැකය ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා වැදගත් වේ. එය කළ හැක්කේ ස්වාධීන අධිකරණයක පැවැත්ම තහවුරු කෙරෙන සමාජ පසුබිම ශක්තිමත් කිරීමෙන් පමණි.

හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද අමරසේකර ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාවක් සකස් කළේ නම් ඒ කාගේ වුවමනාවටද යන්න අනාවරණය කර ගැනීම ඔස්සේ බිහිසුණු ප්‍රභූ අපරාධකරුවකුගේ සැඟවුණු පැත්ත එළියට එනු නිසැකය.

මාතෘකා