පාසල්වල දූෂණයට තිත තැබීම

පාසල්වල දූෂණයට තිත තැබීම

පාසල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේදී සිදු වන දූෂණ වැළැක්වීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යයි. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී ඒකකය මගින් මෙය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව දැන් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සිදු වේ.

මේ වැඩසටහනෙහි අරමුණ යහපත්ය. ජනප්‍රිය පාසල් පොරය නිසා ඇති වූ එක් ප්‍රතිඵලයක් ලෙස විදුහල්පතිවරුන් සහ ඇතැම් ගුරුවරුන් අල්ලස් ගැනීමේ ක්‍රියාවලිය හැඳින්විය හැකිය. අල්ලස් ගැනීම මෙන්ම පදිංචිය ඔප්පු කිරීම සඳහා ව්‍යාජ ලියවිලි සකස් කිරීමද මෙහි තවත් පැත්තකි.

අල්ලස් ගැනීමේ වරද පිළිබඳ අනුන්ටද පාඩම් කියා දීමේ දැනුමක් අල්ලස් ලබා ගන්නා විදුහල්පතිවරුන්ටද තිබේ. පාසල් රැස්වීමේදී දූෂණ හා වංචාවලින් වැළකීම පිළිබඳ සිසුන්ට අනගි දේශනා පැවැත්වීමටද ඔවුහු සමත් වෙති. දිවයිනේ ප්‍රධාන පෙළේ විදුහල්වල අල්ලස් කුට්ටියේ ප්‍රමාණය සහ ඊට වඩා ජනප්‍රිය බවෙන් අඩු දුර පළාතක අල්ලස් කුට්ටිය අතර පරතරය විශාලය. සමහර විට ඒ, රු. දසලක්ෂයේ සිට දසදහස තරම් දක්වා විය හැකිය. එහෙත් අල්ලස් ගැනීමෙහි ප්‍රසිද්ධ විදුහල්පතිවරුන්ට දඬුවම් ලැබෙන්නේ කලාතුරකිනි. ඔවුහු තම සිවිල් බලයේ මහිමයෙන් නීතියෙන් ගැලවෙති. ඔවුනට නීතිය ක්‍රියාත්මක වන්නේ කලාතුරකිනි. බලධාරීන්ගේ සිරිත වන්නේ චූදිත විදුහල්පති විදුහලෙන් ඉවත් කර එක්කෝ පරිපාලනයට යැවීමය! නැතිනම් දුෂ්කර පළාතකට මාරුකර යැවීමය.

මේ නිසා දූෂිත ක්‍රමය වෙනස් කිරීම සඳහා දැනුවත් කිරීමට අමතර ක්‍රියාමාර්ගද අවශ්‍ය වේ. දැනුවත් කිරීමද පාර්ශ්ව කිහිපයකට අදාළ වේ. එනම් විදුහල්පතිවරුන්, දෙමවුපියන් හා අනෙකුත් බලපෑම් කොට්ඨාසයි. අල්ලස් හෝ දූෂණවලට අදාළ නීතිය අනුව අල්ලස් ගැනීම මෙන්ම දීමද වරදකි. දෙපාර්ශ්වයටම නීතියෙන් දඬුවම් හිමිය. මෙහිදී අල්ලස් දීමට පෙලඹෙන්නෝ දෙමවුපියෝය. එහෙයින් දැනුවත් කිරීම මවුපියන්ටද අදාළය. විදුහල්පතිට මුළු කුට්ටියම නොයා තැරැව්කාර පාර්ශ්වයටද කොටස් බෙදී යන අවස්ථා තිබේ. මෙය දූෂණ ජාලයකි. මහ ඇමතිවරුන් අමාත්‍ය ධුර ලබා ගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීමේ රහස කුමක්දැයි වටහා ගැනීමද අසීරු නැත.

අල්ලස හෝ දූෂණය මුල් බැසගත් සමාජයක් නවීකාරක චින්තනයකින් හෙබි දියුණු සමාජයක් බවට පත් කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අලුත් පරපුරට වැඩිහිටි පරපුරෙන් ආදර්ශයක් ලැබිය යුතුය. එහෙත් අවාසනාව වී ඇත්තේ නව පරම්පරාව වැඩිහිටි පරම්පරාවට අල්ලස් දී විවිධ කටයුතු කරගැනීමය. මෙහිදී දේශපාලකයන් පමණක් දූෂිත යයි කීම වැරදිය. එය සෑම ක්ෂේත්‍රයකටම අදාළය. පරිහානිය හැම ක්ෂේත්‍රයකටම පොදුය.

අධ්‍යාපනයද එහිම ගොදුරක් වී ඇත. ඇතැම් විදුහල්පතිවරුන් පාවිච්චි කරන අන්දමේ සුපිරි මෝටර් රථ දේශපාලකයන්ට හා ව්‍යාපාරිකයන්ටද නැත. විදුහල්පතිවරයකුගේ වැටුප අනුව ඔහුට පාරම්පරික දේපළකුත් නොමැති නම් ආකස්මිකව ධනය පහළ වීම කුකුසකට හේතු විය හැක. එහෙත් අල්ලස් හෝ දූෂණ පනතට අනුව එවැනි අවස්ථාවකදී පැමිණිලි කිරීමේ හැකියාවක් පවතී. එය ඕනෑම පුද්ගලයකුට අදාළය. ඒ පිළිබඳ අවබෝධයක් රටවැසියාට අවශ්‍ය වේ.

පාසල අල්ලසට නම් දැරූ ආයතනයක් වීම කෙරෙහි අධ්‍යාපන තරගයද බලපා ඇති හෙයින් අධ්‍යාපන ක්‍රමය පූර්ණ වෙනසකට ලක් කිරීමද අත්‍යවශ්‍ය කොන්දේසියකි. මේ ක්‍රමය ගුරුවරුන්ටද මවුපියන්ටද බරකි. දූෂිතයන්ට ආකරයකි. අල්ලස් ගන්නෝද අධ්‍යාපන වෙළෙන්දෝද එයින් තර වෙති. එහෙයින් පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට තිත තැබීමේ ක්‍රියාදාමය පරිපූර්ණ වන්නේ බරපතළ සමාජ ප්‍රතිසංස්කරණයක් තුළින් පමණි.

මාතෘකා