ලොකුම මාරයා

ලොකුම මාරයා

මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය වීම ආරම්භ වන්නේ ඩයිනමයිට් සොයා ගැනීමත් සමඟ බව පැවසේ. දෙවැනි ඇලෙක්සැන්ඩර් ඝාතනය කිරීම සඳහා සැලසුම් කොට එල්ල කළ ප්‍රහාරය ලොව පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙසද සැලකෙයි.

ඉනික්බිති මේ දක්වා ලෝකයේ තැන තැන බිහිසුණු ව්‍යසනයක් ලෙස 'මරාගෙන මැරෙන' ප්‍රහාර හැඳින්විය හැක. නමුත් අප කතා කරන්නේ පුරුදු පරිදි අප දන්නා 'මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන නොවේ. බෝම්බ වෙනුවට වාහන, බෝම්බ බවට පෙරළාගෙන ජීවිත වනසන පිරිස් පිළිබඳවය.

මෙරට බොහෝ මාර්ග සහමුලින්ම යුද පිටි මෙනි. එකිනෙකා පරයන සේ නංවන කෙළවරක් නොවන නළා ශබ්ද පරිසරය දෙදරවාලන්නට සමත් වෙයි. අනෙකා පරයා යන්නට දරන වෑයම අතරේ ‘කොච්චි මිරිස්’ වදන් පරිසරයට මුදා හැරෙයි. මහමඟ ගමන් ගන්නා පදිකයන් භීතියට පත්කරන වාහන රේස් පයින්ට් ගණනින් ලේ පුච්චා දමන්නට සමත් වෙයි.

මගීහු මරුවා සමඟ ගමන් යන්නන් බවටත් පදිකයෝ මරුවා සමඟ වාසය කරන්නන් බවටත් පත් වෙති.

ලංකාව කොහොමත් විනය අහිමි රටකි. එවන් රටක වාහනයක රියැදුරු අසුන දරන්නාගේ විනය ‘ත්‍රස්තවාදී පන්නයේ’ එකක් වුවහොත් ඉතින් ඉන් එහාට කතා කරන්නට ඉතිරි වන්නේ බිහිසුණු කතාවක් පමණි.

ලංකාවේ සෑම මිනිත්තු 10කටම වරක් මාර්ග අනතුරක් වාර්තා වන බවත් සෑම පැය 4කටම වරක් එක් පුද්ගලයකු මාර්ග අනතුරක් නිසා ජීවිතය අහිමිකරගන්නා බවත් සත්‍යයකි.

2019 වසරේ පළමු මාස 7ක කාලය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 1,629 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. ජනවාරි මස 01 වැනි දින සිට අගෝස්තු 02 දින දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් මෙම මරණ සිදුව තිබේ.

මාර්ග අනතුරුවලින් වසරකට ජීවිත මිලියන 1.3ක් බිලිගන්නා බව සාමාන්‍ය විශ්ලේෂණයයි.

පසුගිය දශක කිහිපයේ යුද්ධයෙන් මිය ගිය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් මාර්ග අනතුරු නිසා මියගොස් ඇත. 1997-2007 කාලය තුළ ශ්‍රී ලංකාවේ 40,000කට වැඩි පිරිසක් මාර්ග අනතුරු නිසා මිය ගොස් ඇති අතර ඉන් රුපියල් බිලියන 100ට වැඩි ආර්ථික විනාශයක් සිදු වී ඇත.

මාර්ග අනතුරු නිසා 2008දී පුද්ගලයන් 2328ක්ද 2009දී 2413ක්ද 2010දී 2721ක්ද 2011දී 2677ක්ද 2012දී 2362ක්ද 2014දී 2413ක්ද මිය ගොස් ඇත.

මේ තත්ත්වය වසරින් වසර ඉහළ ගොස් ඇත.

දැරිය නොහැකි තරම් වාහන ප්‍රමාණයක් මාර්ගවලට එකතු වෙයි. ඒ හා සමානවම විනය රියදුරන් කෙරෙන් පළා යයි.

බොහෝ අනතුරුවලට හේතුව නොසැලකිල්ලය. එමෙන්ම විනය අහිමිකමය. ශ්‍රී ලංකාවේ "ලොකුම මාරයා' බවට ඇති මාර්ග අනතුරු හුදෙක් ජනතාව දැනුම්වත් කිරීමෙන් පමණක් මැඬලිය හැකි නොවේ. නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමද අවශ්‍යයෙන්ම කළ යුත්තකි.

අනෙක් අතට මාර්ගවල පවතින ගැටලුද මීට හේතුවකි. නිසි පරිදි වේග සීමාවක් තවමත් හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. මාර්ග සංඥා පද්ධතිවල ගැටලු රැසකි. ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ගැන පවා සමහරු තුළ හරිහමන් අවබෝධයක් නැත.

මේ සියලු කරුණු කාරණා තුළින් ගෙනෙනුයේ සුබ පණිවිඩයක් නොවේ.

කොළඹ නගරයේ පවතින වාහන තදබදය නිසා රටට සිදු වන පාඩුව දිනකට රුපියල් බිලියනයකට අධික බව පැවසේ. එමෙන්ම අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය වීම සහ කාලය අපතේ යෑම නිසා ශ්‍රී ලංකාවට වසරකට රුපියල් බිලියන 397ක පමණ පාඩුවක් සිදුවෙයි.

කෙටියෙන්ම කිවහොත් කොළඹ ජාතික රෝහලේ ඇඳන් හයකින් තුනක් හෝ හතරක් පිරී පවතින්නේ මාර්ග අනතුරුවලට ලක්වූ පුද්ගලයන්ගෙන්ය.

මේ සටහන අවසන් කරන මොහොතෙත් රිය අනතුරකි.!

මාතෘකා