එකට ජීවත් වීමේ අමාරු චමත්කාරය

එකට ජීවත් වීමේ අමාරු චමත්කාරය

එක්තරා ශීත සෘතුවක් එළැඹි විට වෙන් වෙන්ව සිටි සතුන් බොහොමයක් ඒ සීතලට හසුව මිය ගියහ. තනි තනිව වසන සතුන් මියයන්නේ හුදෙකලාව සිටීම තුළින් සිරුර සීතලට ඔරොත්තු නොදීම නිසා බව මුලදී සත්තු තේරුම් නොගත්හ. සතුන් අතර සිටි ඉත්තෑවෙක් අපූරු යෝජනාවක් ගෙනාවේය. ඊළඟ ශීත කාලය එන විට සියලු සතුන් එකට ගුළිවී ජීවත්වෙමු යන්න ඒ යෝජනාවයි.

සමහරු යෝජනාවට එකඟ වූ නමුත් තවත් සමහරු ඊට එකඟ නොවූහ.

එකට විසීමෙන් ඉත්තෑකූරු ගැටීමෙන් තුවාල වන බවත් ඊට වඩා වෙන්ව සිටීම යහපත් බවත් විශ්වාස කළ පිරිස අලුත් ශීත සෘතුවේත් මරණයම වැලඳ ගත්හ. වියරු සෘතුවට හසුව බොහෝ සතුන් මියගිය පසු පිරිස ඉතෑවාගේ යෝජනාව ගැන කල්පනා කළහ.

පොදු සංවාදයක් මතු විය. අවසනදී එකට එක්ව ජීවත්වීමට තීරණය කළේය. කූරු ඇනෙනසුලු අපහසුතාව ඉවසමින් එක්ව ජීවත් වීමට ඔවුන් උගත්තේය. ඒතුළින් උණුසුමත් සමගියත් ඇතිවිය. අවසානයේදී සුළු සුළු ගැටලු හැර සංහිඳියාවෙන් විසීම නිසා ජීවිත රැකින.

කතාව ප්‍රබන්ධයකි.

එහෙත් එයින් උගත හැකි පාඩම් බොහොමයකි. ජාතීන් වශයෙන්, වර්ග වශයෙන්, ආගම් වශයෙන්, භාෂා වශයෙන්, කුල වශයෙන් බෙදී තිබෙන එහෙත් එකට ජීවත්වන සමාජ බහු සංස්කෘතික සමාජයකට මේ කතාවෙන් ලද හැකි පාඩම් බොහෝය.

රටක හෝ සමාජයක ප්‍රගමනයත් අවගමනයත් උදෙසා ප්‍රමුඛතම බලපෑම කළ හැක්කේ අධ්‍යාපනය තුළිනි. අධ්‍යාපනය යනු හුදු වචනයක් පමණක් නොව, රටක, ලෝකයක ඉරණම් කතාව සකසනු ලබන මහා බලවේගයකි.

හරහට වැටුණු රටවල් හිස ඔසවන්නටත් ලොව දිනන්නටත් හැකි පෙරළි සිදුකළේ අධ්‍යාපනය තුළිනි.

පෙළපොතට එක් කරන එකම එක වචන පේළියකින් සමාජයට කළ හැකි බලපෑම අප්‍රමාණය.

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් බහු සංස්කෘතික අධ්‍යාපනය වෙත යොමුව තිබේ. සාමාන්‍ය අර්ථයෙන් ගත් විට රටක අධ්‍යාපන ප්‍රතිපත්ති මඟින් මේ සෑම සංස්කෘතියකටම ගරු කරන ගරු කළ හැකි අධ්‍යාපන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම බහු සංස්කෘතික අධ්‍යාපනය ලෙස හැඳින්විය හැකිය.

ඒ තුළින් විවිධත්වයට ගරු කරන 'වෛවර්ණ' සමාජයක් ගොඩනැඟිය හැක.

ශ්‍රී ලංකාව යනු කුමක්දැයි ඇසූ විට නොදරුවකු පවා මුඛපරම්පරාගතව උරුම 'ඉන්දියන් සාගරයේ මුතු ඇටය' යැයි කියා සිටී. සත්‍ය වශයෙන්ම එය හුදෙක් වචන කිහිපයක් පමණක් බවට පත්ව තිබේ.

දශක ගණනාවක් තිස්සේ මජර දේශපාලන බලලෝභීත්වය තුළින් මේ රම්‍ය දිවයින වට ගණනාවකින් ආපසු හරවා සිහි මූර්ඡාවට පත්කොට තිබේ.

“බහු ජාතීන් සිටින, බහු භාෂා කතා කරන, බහු අගමිකයන් සිටින ශ්‍රී ලංකාව යනු බහු සංස්කෘතික රටකි.” කියා කියන්නට තරම් තවමත් සමහරු දියුණු නැත.

එහෙම කීවොත් ඒ කියමන “රට පාවා දීමට සන් කරන කියමනකැයි” ආතුරව උමතුවෙන් මෙන් ඝෝෂා කරන්නෝ නහුතයක් මේ රටේ සිටිති.

විවිධත්වයට සිනාසෙන, සමච්චල් කරන, නිගරු කරන සහ වෛර කරන සමාජයකින් ශේෂ වන්නේ මොනවාද? එකිනෙකාගේ පෞද්ගලිකත්වය පවා අනෙකාගේ 'සිනහවට, ගර්හාවට හෝ වෛරයට හේතුවන' සමාජයකින් පෙරටුගාමී රටක් බලාපොරොත්තු විය හැකිද?

එකම ජාතියක ඉපදුනු නමුත් කුල වශයෙන් බෙදී ගිය සමාජයක ඡන්ද පොළකදී 'සම්පූර්ණ නම' කියන විට පවා ඇතිවන 'අපහසුතාව' බොහෝ විට අත්දැක ඇත. කුලය පවා 'මහා සාධකයක්' ලෙස සලකා අසනීප වූ රටක තුවාල සනීප කරන්නට පාදම දැමිය හැක්කේ 'අධ්‍යාපනයටම' පමණි.

මාතෘකා