මහජන සහභාගිත්වය ඇතිව අධ්‍යාපනය සැලසුම් කිරීම

මහජන සහභාගිත්වය ඇතිව අධ්‍යාපනය සැලසුම් කිරීම

රටක ප්‍රතිපත්ති ඉහළින් සැලසුම් කර පහළට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීම යල්පැන ගිය ක්‍රමයකි. මහජන අවශ්‍යතා සහ අභිලාෂ එහිදී අවතක්සේරුවට ලක් කෙරේ. ගැටලු නොවිසඳී පවතී. මේ පිළිබඳ අත්දැකීම් සමුදායක් මෙරට ජනයා සතුය. අධ්‍යාපන ඇමතිවරයා ගෙන ඇති එක් තීන්දුවක් මේ පිළිබඳ සුබවාදී ආකල්පයක් ඇති කරයි. නව අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම සඳහා මහජනයාගේ අදහස් සහ යෝජනා කැඳවීමට ඇමතිවරයා තීන්දු කර ඇත. මෙය සතුටුදායක ප්‍රවෘත්තියකි. යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් හොඳ සහ නරක ප්‍රතිචාර දෙවර්ගයම ඇතත් අධ්‍යාපනය යනු අඩුවෙන්ම චෝදනා එල්ල වූ ක්ෂේත්‍ර කිහිපයෙන් එකකි.

ඇතැම් විවේචන, අධ්‍යාපනයෙහි සාධනීය වෙනස්කම් කිරීමට යෑම නිසා එල්ල වූ බවද කිව යුතුව තිබේ.

13 වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනය, විෂයමාලා සංශෝධනය, නවීන තාක්ෂණය අනුව සකස් කෙරෙන සුහුරු පන්ති (Smart room), උසස් පෙළ සිසුන් සඳහා නියමු ව්‍යාපෘතියක් වශයෙන් ටැබ් පරිගණක ලබා දීම සහ ගුරු පුරප්පුපාඩු පියවීමට පියවර ගැනීම යනාදී වශයෙන් යෝජනා රැසක් ක්‍රියාවට නැංවිණ. ටැබ් පරිගණක ලබා දීමේ තීන්දුව රටේ ප්‍රධාන පුරවැසියාගේ පටන් පාර්ශ්ව ගණනාවක විවේචනයටද තුඩු දුන්නේය.

අපේ රට ආසියානු කලාපයෙහි පමණක් නොව බටහිර රටවලද අවධානයට යොමු වීම කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණු අතර නිදහස් අධ්‍යාපනය, ජනසතු ව්‍යාපාර, සෞඛ්‍ය සේවය, සර්වජන ඡන්ද අයිතිය යනාදිය සඳහන් කළ හැකිය. එයිනුත් 1940 දශකයේ පටන් අත්හදා බලමින් ක්‍රියාත්මක වූ නිදහස් අධ්‍යාපන ක්‍රමය වැදගත් විය.

එහි මූලිකාංග ආරම්භයෙහි පටන් වත්මන දක්වාම ක්‍රමයෙන් කප්පාදුවට ලක් වුවත් එහි හරය නොනැසී පවතී. කාලීන අවශ්‍යතා අනුව එය යාවත්කාලීන කිරීමේ ප්‍රමාදය, සිදු වූ එක් අඩුපාඩුවකි.

අනෙක් වැදගත් කරුණ නම් ලොව කිසිදු රටක නොමැති අන්දමින් අධ්‍යාපන කඩ විවෘත වීම ඔස්සේ අධ්‍යාපන ක්‍රමය බරපතළ විකෘතියකට ලක් වීමය. එහෙයින් අධ්‍යාපන ඇමතිවරයාගේ තීන්දුව පිළිබඳ සතුටු විය හැකිය. දැන් සිදුවිය යුත්තේ තමන්ට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් නවීන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය යෝජනා විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලැබීමය. එය මඟ නොහැරිය යුතු අවස්ථාවකි.

පවතින අධ්‍යාපන ක්‍රමය සිසුන්ට පීඩාකාරී එකකි. ඔවුන්ගේ නිදහස අහිමි කර ඇත. පාසැලෙන් ඉවත් වන විට ඉතුරු වී ඇත්තේ දිගු කලක් අධික බරැති විශාල පොත් මල්ලක් ඔසවාගෙන යෑම නිසා රෝගී වූ පිටකොන්දක් සහිත සිරුරකි. සංවේදීකම් මරන ලද, කටපාඩමින් කරුණු කියන වියළි මනසකි. කුසලතා හඳුනාගෙන වැඩිදියුණු කර නැත. ආකල්පවලින් දුප්පත්ය. ප්‍රචණ්ඩත්වයට බරය. විවිධත්වය නොඉවසයි. සහජීවනය හා සංහිඳියාව ගෑවිලාවත් නැත. එසේ හෙයින් පළමුව කළ යුත්තේ කිලෝ ගණනක් වූ පොත්මල්ලේ බර අඩු කිරීමය. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනය නම්වූ මුදල් ගිලින බහිරවයාගේ කාර්යභාරය යළි විමසා බලා එය හරයක් ඇති ආයතනයක් බවට පත් කිරීමය.

දරුවන්ගේ සංවේදීකම් මරාදමා ගිරා පෝතකයන් බිහි කිරීමට බලපාන පෙළපොත් සම්පාදනය කරනු ලබන්නේ එම ආයතනයේ බකපණ්ඩිතයන් විසිනි.

ලොව දියුණු රටවල අධ්‍යාපන ක්‍රම අධ්‍යයනය කරමින් සිසුන්ට සොබාදහම සමඟ ජීවත්වෙමින් තම පරිකල්පනය පුබුදු කර ගැනීමේ, අවබෝධ කර ගැනීමේ හා අභියෝගවලට මුහුණ දීමේ අවස්ථා ලබා දිය යුතුය.

සමාජය ප්‍රචණ්ඩත්වයට බර වීම කෙරෙහි අධ්‍යාපන ක්‍රමයෙහිද දුබලතා බලපා ඇති බව පෙනේ.

ලංකීය සමාජය විවිධත්වය පිළිගැනීමේ ගුණය වසර දහස් ගණනක් තිස්සේ වගා කරගෙන ඇතත් ඒ උරුමය වත්මන් සමාජයෙන් ගිලිහෙමින් පවතී. එය නැවත පුරුදු පුහුණු කිරීම සඳහා අධ්‍යාපනයෙන් කළ හැකි කාර්යය විශාලය. ටියුෂන් මාරයාට වැට බැඳිය හැක්කේ ගුරුවරුන්ගේ වෘත්තිය මට්ටම නංවා ඔවුන්ට සෑහීමකට පත් විය හැකි වැටුපක් ලබාදීම ඔස්සේ ටියුෂන් කිරීම ඔවුන්ට තහනම් කිරීමෙනි. එය අමුතුවෙන් තහනම් කිරීමට අවශ්‍ය නොවන්නේ ගුරුවෘත්තියෙහි යෙදෙන්නන්ට පාසල් කාලයෙහි පමණක් නොව එයින් පසුවද වෙනත් ව්‍යාපාරවල යෙදීම තහනම් බවට සම්මත වූ නීති සහ රෙගුලාසි අහෝසි කර නැති බැවිනි.

මාතෘකා