ඛේදවාචක අතර දඩාවතේ යන මාධ්‍ය?

ඛේදවාචක අතර දඩාවතේ යන මාධ්‍ය?

ඛේදවාචකයක් සිදු විය. එය මුළු මිනිස් සමාජයම කම්පාවට පත් කළ එකකි. ඒ ගැන තර්කයක් නැත. වගකිය යුත්තෝ බොහෝය. කඳුළු හෙළන්නෝද බොහෝය. එහෙත් එකී ඛේදවාචකය උඩ ඩෙඟා නටමින් කාලකන්නි තෘප්තියකින් සැනහෙන තුච්ඡ පන්නයේ මාධ්‍ය හැසිරීමක් තවමත් සිදුවෙමින් පවතී. එය ලැජ්ජා සහගතය.

මාධ්‍ය නිදහස සාකල්‍යයෙන්ම අත්‍යවශ්‍යය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් දිගින් දිගටම සිදු වෙමින් පවතින්නේ කුමක්ද? දූෂිතයන්ගෙන් බේරාගත් දැරිය බේරාගත් පුද්ගලයා විසින් කෙලෙසා දමනවා නම් ඊට ඉඩහළ යුතුද?

බියගුලු ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ සැනින් එතැනට කඩා වැදුණු ඇතැම් මාධ්‍ය තමන් ඉලක්ක කරන 'කුණු' රස ගොදුරු සෙවූ හැටි ශිෂ්ටසම්පන්න කිසිවකු අනුමත කරන්නේ නැත. විසි හතර පැයම 'බ්‍රේකිං නිවුස්' වෙනුවෙන් මැදිරි වෙන්කොට සිදුවීම් වූ ස්ථාන කරා සිය නියෝජිතයන් යොමුකොට 'ත්‍රස්තවාදී මාධ්‍යකරණයක’ යෙදුණු සහ යෙදෙන මාධ්‍ය බොහොමයක් විය. ‘මොකද වුණේ, ඒ වෙලාවේ මොනවද හිතුණේ, සැක කවුද? යනාදී ම්ලේච්ඡ ප්‍රශ්න නඟමින්ද ඉන් නොනැවතී, මියගියවුන්ගේ සහ තුවාල වූවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින්, විලාපයන් උත්කර්ෂයට නංවමින් කරන මාධ්‍යකරණය කුමක්ද? වරක් මිය ගිය ප්‍රමාණය සංඛ්‍යා සහිතව කී එක් නාළිකාවක් ඊට හෝරාවකට පසුව නැවත කීවේ මුලින් කී ප්‍රමාණයට වඩා අඩු සංඛ්‍යාවකි.

එහෙම වූයේ මිය ගිය කිහිප දෙනකු නැවත ඉපදීමක් සිදුවීමෙන්ද?

"ඔබ නිවැරදි යැයි සිතන දේ කරන්න" කියා මාර්ක් ටේවින් නමැති ගවේෂකයා මාධ්‍යවේදියාට පවසා තිබේ. එහෙත් අනාගතයේ බිහිවන්නේ මේ වර්ගයේ මාධ්‍යවේදීන් බව දන්නවා නම් මාර්ක් ටේවින් 'හරාකිරි ක්‍රමයට' සියදිවි නසා ගන්නවාට සැක නැත.

සිදුවීම වූ සැනින් ආණ්ඩුව සමාජ මාධ්‍ය වාරණය කළේය. එය වරදක් නොවේ. 'අනෙකා කැති ගාන්නට අවි රැගෙන වරෙව්' කියා සාහසික සටන් පාඨවලට ඇතිරිල්ලක් වූ සමාජ මාධ්‍ය වගකීම්සහගත තැනකට පත් කිරීම ඒ මොහොතේ අවශ්‍යයෙන්ම කළ යුතුව තිබිණි.

එහෙත් උතුරා යන මාධ්‍ය නිදහසේ නාමයෙන් 'බෝම්බ ත්‍රස්තවාදය පරයන මාධ්‍ය ත්‍රස්තවාදයක්' තවමත් ක්‍රියාත්මක වෙමින් පවති. එක්කෝ ආණ්ඩුව ඒ ගැන නොසලකා හැර තිබේ. නැතිනම් ආණ්ඩුව තවමත් නිද්‍රාවෙහි ගිලී සිටී.

ආණ්ඩුව අශ්වයා පළායන තුරු ඉස්තාලය නොවසා සිටි අවස්ථා බොහෝය. එක්කෝ ආණ්ඩුව අශ්වයා විශ්වාස කරයි. නොඑසේනම් ආණ්ඩුව අශ්වයා යනතුරු බලා සිටියි. ඔය කෝක වුණත් ශරීර සෞඛ්‍යයට හොඳ නැත. මේ සිදුව තිබෙන්නේ එහි ආදීනවය. සමාජ මාධ්‍ය අරභයා කිසියම් ක්‍රියාමාර්ගයක් ගත්තා නම් ඊටම සමගාමීව මේ වල්වැදී අයාලේ දුවන මාධ්‍ය පිළිබඳවද කිසියම් නියාමනයකට එන්නට ආණ්ඩුව නොසමත් ඇයි? වගේ වගක් නැතිව කඹය කඩාගත් ගානට දුවන මාධ්‍ය කෙරෙහි නියාමනයක් මේ මොහොත වෙනුවෙන් හෝ කළ යුතු නොවේද?

මාධ්‍ය නිදහස අවභාවිත වන බව දැක දැකත් ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මන්ද? ජාතික ආරක්ෂාව, ජාතික එකමුතුව, යනාදී උසස් කාරණා අරභයා තුච්ඡ ලෙස එල්ලවන මාධ්‍ය ප්‍රහාර ත්‍රස්තවාදී ප්‍රහාරවලට වඩා බිහිසුණු බව නොවැටහෙන්නේ මන්ද?

වරදවා වටහා නොගන්න, අපේ යෝජනාව මාධ්‍ය නිදහසට වැට බැඳීමක් ගැන නොවේ. මාධ්‍ය නිදහස වෙනුවෙන් අප කොන්දේසි විරහිතව පෙනී සිටිමු. එසේම ජන මාධ්‍යයේ නාමයෙන් ක්‍රියාත්මක ජඩ මාධ්‍යයට එරෙහිවීමද අතිශය වැදගත් කරුණක් බව කියා සිටිමු.

'මිනිස් ඝාතන උදෙස අවි උවමනා නැත. ඒ උදෙසා වචනද ප්‍රමාණවත්ය'. නිරායුධව නමුත් වචන අවි බවට පත් කරගෙන එල්ල කරන පරමාණු හමුවේ මුනිවත රකින්නේ නම් ඇති ඵලය කුමක්ද?

සත්‍යය එක් ස්ථාවරයක පිහිටා සමාජගත කරවීමේ මෙහෙයුම ආණ්ඩුව අතට ගත නොහැක්කේ ඇයි? සත්‍යයෙහි එකක් මිස දෙකක් නැත.

මාධ්‍ය ආචාර ධර්ම තුට්ටු දෙකට දමා සිය ඒකායන දේශපාලන ධර්මය සහ 'රේටින්' වැඩි කර ගැනීම උදෙසා කරනු ලබන මාධ්‍ය භාවිතයන් කෙරෙහි දැන්වත් අවධානය යොමු නොකරන්නේනම් එය ත්‍රස්තවාදයට වඩා බිහිසුණු 'ත්‍රස්තවාදයක්' වනවාට සැක නැත .

නැවතත් අපි කියමු.

මාධ්‍ය නිදහස නැමැති සටන් පාඨය මත ඩෙඟා නටන්නට ඉඩදී බලා ඉන්නට ආණ්ඩුවකට අයිතියක් නැත.

මාතෘකා