කතුවැකිය

කතුවැකිය

ම්ලේච්ඡයන් කිහිප දෙනකු හෝ සංවිධානයක් විසින් මෙරට අහිංසකයන්ගේ සාමකාමී ජීවිත රටාවට බෝම්බ ගසා තිබේ. කුමන අර්ථයෙන් ගත්තද ජීවිත සසල කරන ප්‍රහාරයක් වෙත්නම් එය බියගුලු සාහසික ප්‍රහාරයකි. කොන්දේසි විරහිතව එවන් ප්‍රහාර හෙළා දැකිය යුතුය. ම්ලේච්ඡ අවධිය ගෙවා ශතවර්ෂ ගණන් ඉදිරියට පැමිණ ඇතැයි පුරසාරම් දෙඩුවද තවමත් ම්ලේච්ඡයෝ ස්වකීය ජරාජීර්ණ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට ආයුධ සහ සැහැසිකම් යොදා ගනිති. ලේ විල් මැද මල් නෙළිය හැකියැයි කිසිවකු සිතනවානම් ඒ තරම් සාහසික සිතිවිල්ලක් තවත් නැත. එහෙත් ඇපකැලිප්ටෝ වර්ගයේ මානවයන් තවමත් ලොව වසන බවට නිදසුන් මෙවන් ප්‍රහාර තුළින් ගම්‍ය වෙයි.

මේ පන්නයේ සාහසික ප්‍රහාර ලෝකයේ බොහෝ රටවලට එල්ල වී තිබේ. නවසීලන්තය, ප්‍රංශය, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ස්වීඩනය වැනි ලොව ප්‍රබලතම රටවල් පවා මෙවන් බියගුලු ප්‍රගාරවලට මෑතකදී ලක්ව තිබේ. ත්‍රස්තවාදියාට ස්වකීය අරමුණ උදෙසා යන ගමනේදී මුණ ගැසෙන කිසිවකු සිය අරමුණ ආපසු හරවන්නට හේතුවක් නොවේ.

උද්ගත වූ මෙම අනපේක්ෂිත අර්බුදකාරී අවස්ථාවේදී පුරවැසියා ගත යුතු හොඳම තීරණය වනු ඇත්තේ දේශපාලන නායකයන්ගේ බල ලෝභී වුවමනාවන්ට ගොදුරු නොවී නිරවුල් මනසකින් මේ ඛේදවාචකය දෙස බැලීමය. ඇතැම් විට ඔබ වන්දනාමාන කරන දේශපාලනඥයාද මේ බියගුලු ක්‍රියාව පිටුපස තිබූ බළල් අතක් විය හැක.

බල දේශපාලනයේ සහ උග්‍ර ජාතිවාදයේ ලොමු ඩැහැගන්වන අපේක්ෂාවන් මේ ඛේදවාචකය මත බීජ ලෙස වපුරවා එහි අස්වැන්න නෙළන්නට වෑයම් කරන අයකු හෝ කණ්ඩායමක් වෙත්නම් ඔවුන් තරම් තිරස්චීන කොටසක් තවත් නැත. එබැවින් මේ මොහොත වඩාත් ප්‍රශස්ත සහ ශිෂ්ට ලෙස කළමනාකරණය කිරීම අතිශයින්ම වැදගත්ය.

අනෙක් අතට යක්ෂාවේෂ වූ ම්ලේච්ඡයන් හා අරගල කිරීමෙන් සිදුවන්නේ ශිෂ්ටසම්පන්න මිනිසාද ම්ලේච්ඡයකු වීම පමණි. බොහෝ කලක් අගාධයක් පතුළට නෙත් යොමා සිටියහොත් අගාධයද පෙරළා ඔබ වෙත නෙත් යොමනු ඇත යනුවෙන් කතාවක් තිබේ.

ඝාතකයාගේ ජාතිය සොයා බලා එකී ජාතියට එරෙහිව අවි අමෝරන සාහසිකත්වයද මේ මොහොතේ පරාජය කළ යුතුය. බියගුලු ත්‍රස්තයකුගේ හෝ කණ්ඩායමක සැහැසිකම ඔහුගේ හෝ ඔවුන්ගේ ජාතියේ හෝ ආගමේ වරදක් නොව ඔවුන්ගේ අරමුණුවල වරදකි. ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම මුග්ධයකුම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි.

සත්‍යය එයයි.

ජාතිවාදය හලාහල විෂකි. දශක ගණනාවක් එකී විෂෙන් මළ ගණන ලක්ෂ ගණනකි. සංස්කෘතික බහුත්වවාදයක් වෙනුවට රටක අන්තවාදී බහුත්වවාදයක් ජනිත වීම ඛේදවාචකයකි. ලංකාවේ මැතිවරණ උණුසුම නැඟී එන සෑම අවස්ථාවකදීම ජාතිවාදයේ හලාහළ විෂ සමාජ දේහයට පොම්ප කරයි. ඇතැමුන් බල ලෝභයේ පහස නිවා ගන්නට ශිෂ්ට සමාජය පිළිකුල් කරන නිහීන ජාතිවාදය, ආගම්වාදය අවියක් කොට ගැනීම තරම් බියගුලු ක්‍රියාවක් තවත් නැත.

මේ මොහොතේ අසල්වැසියාද මනුස්සකමින් රකින්නට හැකිනම් උදාර මිනිස්කම යනු එයයි.

ආදරය, මිනිස්කම, ශිෂ්ටත්වය, කරුණාව, මෛත්‍රිය යනාදී වචනවලට මිනිසුන් අර්ථ ලබා දී තිබේ. ඒ අර්ථ 'පාට' කොට යථාවක් කිරීමේ අතිශය භාරදූර කටයුත්ත මේ මොහොතේ සියලු ශ්‍රී ලාංකිකයාගේ උර මත පැවරී තිබේ.

මාතෘකා