සුව සැරියෙන් එළිය වන දිවිසැරිය

සුව සැරියෙන් එළිය වන දිවිසැරිය

අප්‍රේල් 15 සහ 16 දෙදිනෙහි පමණක් සුව සැරිය ගිලන් රථ සේවාවෙන් සේවය ලැබූ සංඛ්‍යාව 1452ක් වන බව 'රැස' පුවත්පත ඊයේ [18] අනාවරණය කළේය. මේ වනාහි අවුරුදු සමයෙහි අසන්නට ලැබුණු සුබදායී ප්‍රවෘත්තියක් බව නොකියා බැරිය. මෙය ඉතා වැදගත් පුවතකි. යහපාලන ආණ්ඩුව කළේ මොනවාදැයි කටේ දිවේ නොගෑවී රැල්ලට අසන පුද්ගලයන්ට දිය හැකි පිළිතුරුවලින් සුවිශේෂ එකකි.

ශ්‍රී ලංකා අගමැතිගේ ඉල්ලීමක් අනුව ඉන්දීය අගමැති ලංකාවේ ජනතාව වෙනුවෙන් කළ වැදගත් ප්‍රදානයක් හැටියට මෙය හැඳින්විය හැකිය. මේ සුවිශේෂ කටයුත්තෙහි නියමුවා ලෙස සැලකිය හැක්කේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වාය.

ඒ අනුව මුළු ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය ආපසු නොගන්නා ඩොලර් මිලියන 227ක ප්‍රදානයක් කිරීමේ තීන්දුව ගත්තේය. මෙය සියලු ලාංකිකයන්ට සේවය ලබාගත හැකි ගිලන්රථ සේවාවකි. 1990 අංකයට ඇමතීමෙන් සැපයෙන ගිලන් රථයෙන් මිනිත්තු 15කට ආසන්න කාලයකදී රෝහල කරා රෝගියා ප්‍රවාහනය කිරීමේ අවස්ථාව හිමි වේ.

හදිසි අනතුරුවලින් වාර්ෂිකව 25,000ක් දෙනා මියයන රටක මෙහි ඇති වැදගත්කම ගැන අටුවා ටීකා අවශ්‍ය නොවේ. එහෙත් මෙහිදී අපගේ අවධානයට ලක් වන්නේ වෙනත් කරුණකි. එනම් රටේ පොදු යහපතට හේතුවන තීන්දුවක් වුවද ශ්‍රී ලංකාවේ පවතින පිරිහුණු දේශපාලන සංස්කෘතිය අනුව නිගරුවට ලක් වීමය. ඒ අනුව සුවසැරිය ගිලන් රථ සේවයද ගෝනි බිල්ලකු බවට පත්කිරීම සඳහා ඊනියා විපක්ෂ බලවේග සමඟ ජනතා ද්‍රෝහී සෞඛ්‍ය වෘත්තීය සමිති කටයුතු කළේය. ජනතාව ගොනාට ඇන්දීම සඳහා පන්සල් දෙවනත් කරන අවස්ථාවාදී දේශපාලකයෝ මෙය අවියක් කරගත්හ. මෙය දේශපාලන කුහකත්වය ඉස්මතු වූ අවස්ථාවකි.

සුවසැරියට එල්ලවූ බරපතළම චෝදනාව වූයේ එම ප්‍රදානය වෙනුවෙන් ඉන්දියාවේ gwk සමාගමට ගාලු වරායේ කොටසක් පවරා දීමට රජය කටයුතු කරන බවය. එහෙත් gwk සමාගම යනු සුවසැරිය ගිලන්රථ සේවය සඳහා තාක්ෂණික පහසුකම් සලසන ආයතනයයි. එම වගකීම වෙනුවෙන් රජය නියමිත ගාස්තු සමාගමට ගෙවා ඇත. එපමණකි. අනෙක් චෝදනාව වූයේ ඉන්දියානුවන්ට රැකියා අවස්ථා ලබා දීම ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ට කළ අසාධාරණයක් බවය. එයද හුඹස් බියකි. ගිලන් රථ සේවාව සඳහා බඳවාගෙන ඇති සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ වෙත්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඇතැම් වෘත්තිය සමිතිවල විරෝධය නිසා ගිලන්රථ රෝහල්වල ගාල්කළ නොහැකි විය. එනිසා එම රථ පොලිස් ස්ථානවල ගාල් කිරීමට තීන්දු කෙරිණ. මේ කවර බාධා පැමිණියද සුවසැරිය කෙටි කලකින් ජනතා විශ්වාසය දිනාගැනීමට සමත් විය. අද එහි දොස් දකින්නන් සොයා ගැනීම කළුනික සොයන්නාක් බඳු අමාරු වැඩකි.

හදිසි අනතුරුවලින් සිදුවන ජීවිත හානි වැඩිවීම කෙරෙහි බලපා ඇති එක් හේතුවක් වන්නේ තුවාලකරු ආරක්ෂිතව රෝහල කරා ගෙන යෑම දුෂ්කර වී තිබීමය. බොහෝ විට මේ සඳහා යොදාගනු ලබන්නේ ත්‍රිරෝද රථ හෝ ප්‍රමිතියකින් තොර වෑන් රථයි. මේ නිසා රෝහලට යන අතරතුර හෝ රෝහලේදී මියයන තුවාලකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවේ. සුවසැරිය ගිලන් රථය මේ ගැටලුවට කදිම පිළිතුරකි.

ඉන්දීය ප්‍රදානයක් ලෙස ලැබුණද මෙය රජයේ ව්‍යාපෘතියකි. එහි නඩත්තු කටයුතු බාර වන්නේ රජයටය. එනිසා මෙවර අයවැයෙන්ද සැලකිය යුතු මුදලක් ඒ සඳහා වෙන් කෙරිණ. සුවසැරිය ගිලන්රථ සේවය විවේචනය කළ අවස්ථාවාදීන් පිටුපස අවිචාරයෙන් ගිය පුද්ගලයන්ටද සුව සැරියෙහි පිහිට ලැබීම ඉතිහාසයෙහි සරදමකි.

ගිනි පත්තු කරන්නෝ තම හඬ බොල්වූ විට වලිගය පශ්චාත් භාගයෙහි සඟවාගෙන නිහඬ වෙති. එහෙත් ඔවුන් සමාජයෙහි පැතිරවූ මිථ්‍යාව පරාජය කිරීම ලේසිපාසු කරුණක් නොවේ. අවස්ථාවාදීන්ගේ මතවලට ඉඩදුන් වහල් මාධ්‍යද ඉන්පසු මුනිවත රකියි.

කරුණු කෙසේ වුවද අන්ධකාර අහසේ රිදී රේඛාවක් මෙන් සුවසැරිය, දිවිසැරිය ආලෝකවත් කරනු පැහැදිලිව පෙනේ.

මාතෘකා