උත්සව දොරකඩ

උත්සව දොරකඩ

අලුත් අවුරුදු සමයේ 'ලෙඩ' වන බව දුම්රිය රියදුරන් කල් ඇතිවම පවසා තිබේ. බස් වර්ජනයක් ගැනද හා හෝවක් පවතී. එයින් කියැවෙන්නේ උත්සව අස්සේම මහජනතාවට 'කොරේ පිටට මරේ' වීමට නියමිත බවය.

ඒ අනුව වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ වර්ජනය සිදු කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයද පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

සාමාන්‍යයෙන් උත්සව සමයට ලක්ෂ ගණනාවක ජනකායක් අග නගරයට සහ තදාසන්න නගරවලට පැමිණෙයි. වසර පුරාම දොම්නස්, සන්තාප, පීඩාවන් මැද ජීවත්වන මිනිස්සු යාන්තමට හෝ තාවකාලික අස්වැසිල්ලක් ලබන්නේ චිරාත් කාලයක් තිස්සේ පැවතෙන උත්සව සමය හේතුකොටගෙනය.

කාලාන්තරයක සිට ශ්‍රී ලාංකේය සංස්කෘතිය මෙවැනි උත්සව හා බැඳී පවතී. බෙහෙවින්ම කුඩා කොදෙවුවක් වුවද මෙහි විවිධත්වය අපූරුවට විදහා දැක්වෙයි. ජාති ආගම් කුලභේදවලින් තොරව මෙරට ජනතාව මේ උත්සවවලට සහභාගි වෙයි.

මේ අයුරින් ගත් කල්හි උත්සව සමය වනාහි පොදු ජනතාව කිසියම් චිත්ත සංතෘප්තියකට පත් වන කාල සමයකි.

එය දඩමීමා කොටගෙන ස්වකීය වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමු වීම කෙතරම් මානුෂීයදැයි කල්පනා කිරීම වටී.

මෙරට වැඩවර්ජන සිදුවන්නේ කම්කරුවන්ට අවැසි ලෙසට වඩා දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතා අනුවය. ආණ්ඩු විරෝධී නැතිනම්, ක්‍රම විරෝධී බළල් අත් මේ වර්ජන බොහොමයක් පිටුපස තිබේ. ආර්ථික විශ්ලේෂකයකු වන වින්සන්ට් මර්වින් ප්‍රනාන්දු වරක් පැවසූ පරිදි ලංකාවේ 1962 සිට 2015 දක්වා කාලය තුළ වර්ජන 5,720ක් සිදුව තිබේ. එක වසරකදී වර්ජන සීයකට වඩා සිදුව තිබේ. මේවායින් සිදුවන පාඩුව අතිවිශාලය. ලංකාවේ වර්ජන නිසා අහිමි වී තිබෙන සංවර්ධනයේ ප්‍රමාණය අතිවිශාලය.

1980දීම සිංගප්පූරු ගුවන් නියමු වැඩවර්ජනයේදී ලී-ක්වාන් යූ ඔවුන්ට අමුතු පාඩමක් කියා දුන්නේය.

සාමාන්‍යයෙන් සම්ප්‍රදායික 'වැඩ වර්ජන' කලාව වෙනස් වී තිබේ. මෑතකදී ජපානයේ බස් රථ රියැදුරෝ වැඩවර්ජනයක යෙදුණහ. පාලකයන්ගෙන් විසඳුමක් නැත වර්ජකයෝ අලුත් පියවරක් ගත්හ. එය බස් මගීන්ට වඩාත් හිතකර වූ අපූරු වර්ජනයක්ය.

ජපානයේ බස් රථවල දොරටුව අසලම මුදල් ගෙවීමේ යන්ත්‍රයක් පිහිටුවා තිබේ. බස් මගියා තම මුදල හෝ මුදල් ගෙවීමේ කාඩ්පත භාවිත කරමින් මේ යන්ත්‍රයෙන් ටිකට්පතක් ගනී. වර්ජන දිනයේදී මේ යන්ත්‍රය රෙදි කඩකින් වසා මගීන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට ඔකයාමා රියැදුරෝ කටයුතු කළහ. වෙනදාටත් වඩා නියමිත වේලාවට බස් ධාවනය කරමින්, සුපුරුදු බස් නැවතුම්වල බස් රථය නවතමින්, සුපුරුදු සේවාව ක්‍රියාත්මක කළද ඒ සේවය වෙනුවෙන් මුදල් ගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. වැය බර රජයටය.

ලෝකයේ මෙන්ම මේ රටෙන්ද බොහෝ උදාහරණ සපයා ගැනීම අපහසු නැත.

සියල්ලටම වඩා මේ මොහොතේ ශ්‍රී ලංකාව සිටිනුයේ අතිශය තීරණාත්මක මංසන්ධියකය. කාබාසිනියා කොට තිබූ ආර්ථිකයකට ඔක්සිජන් දී නැගිට්ටුවාලීම පහසු නැත. අනෙක් අතට දින ගණනාවක් ආණ්ඩුවක් නැතිව අරාජිකව තිබූ සමයක් ගෙවා දැමූ කාලයකි. තවත් අතකට දැඩි නියඟය මැද විදුලි අර්බුදයකට විසඳුම් සොයන අවධියකි.

එවන් මොහොතක 'නූලට' විසඳුම් ඉල්ලා 'බොරදියේ මාළු බෑම' මොනතරම් ශිෂ්ටසම්පන්නද කියා සිතා බැලීම වටී.

වෘත්තිය ක්‍රියාමාර්ගවලට තිබෙන අයිතිය සහ නිදහස අපි කිසිවිටෙක ප්‍රශ්න නොකරමු. පාලකයා වෙනුවට පාලිතයාගේ පැත්ත ගැනීම ගැන අපේ කිසිදු කොන්දේසියක් නැත. එහෙත්, මේ මොහොත කෙබඳුදැයි කල්පනා කිරීම අත්‍යවශ්‍යය.

මාතෘකා