එච්.එම්.ගේ හෘද සාක්ෂිය

එච්.එම්.ගේ හෘද සාක්ෂිය

ප්‍රකට සංගීතඥයකු වූ එච්. එම්. ජයවර්ධනගේ අභාවය සැබෑ කලාකරුවන්ගේ හෘද සාක්ෂිය නිහඬ වීම පිළිබඳ සෝචනීය සිදුවීමකි. මීට දශක කිහිපයකට පෙර පැවති ජනාධිපති සම්මාන උලෙළකදී එච්. එම්. සංගීතවත් කළ ‘මුහුදු ලිහිණි’ චිත්‍රපටිය සඳහා හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය පිරිනැමිණ. මේ අදීන කලාකරුවා හෘද සාක්ෂියට එකඟව තමාට ලැබුණු සම්මානය ප්‍රතික්ෂේප කළේය. සම්මානයට සුදුසු වන්නේ ‘තුන්වැනි යාමය’ චිත්‍රපටිය සඳහා සංගීත නිමාණය ක‍ළ ප්‍රේමසිරි කේමදාස බව ඔහු ප්‍රකාශ කළේය.

මෙය සංගීත හා කලා ක්ෂේත්‍රයෙහි අසිරිමත් සිදුවීමකි. තමන්ට සම්මාන නොලැබීම නිසා සම්මානලාභීන් කෙරෙහි උරණව දොස් කියන හා යටිකූට්ටු වැඩ කරන කලාකරුවන් සිටින රටක එච්. එම්. ලබාදුන් ආදර්ශය සුලුපටු එකක් නොවේ.

එච්.එම්. වකුගඩු ආබාධය නිසා ජීවිතය හැර යන විට ඔහුගේ වයස අවු 69 කි. වකුගඩු රෝගය නිසා අහිමිවන ජීවිත අතරට එච්.එම්. ද එක්විය.

එච්.එම්. රිදී හැන්දක් අතින් ගෙන උපන් අයෙක් නොවේ. ඔහුගේ උපන්ගම සියඹලාණ්ඩුවයි. පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වීම නිසා ඔහුට පස්සර මහ විදුහලෙන් අධ්‍යාපනය ලැබිය හැකි විය. ඔහු පාසල් වාද්‍ය කණ්ඩායමේ බටනළා වාදකයා විය. ඔහුගේ අධ්‍යාපනය දහයේ පන්තියෙන් නිමා විය. විවිධ රැකියාවල යෙදුණු ඔහු ගුවන් විදුලි වාදක මණ්ඩලයේ බටනළා වාදකයා වෙමින් තම අරමුණු ජගත්තේය. ඔහු සංගීත ඥානය උකහාගත්තේ උත්සාහයෙනි.

මියුරු තනු නිර්මාපකයකු ලෙස ඔහු කීර්තිනාමයක් දිනාගත්තේය. ටී.එම්. ජයරත්නගේ" සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන" එච්.එම්. ගේ පළමු ගී තනු නිර්මාණයයි. නන්දා මාලනීගේ “ඔබයි රම්‍ය සඳ කිරණ, පෙරදා මහ රෑ” ඇතුළු ගීත ගණනාවක තනු නිර්මාණකරුවා ඔහුය. එසේ තනු නිර්මාණය කළ ගීත සංඛ්‍යාව දහස් ගණනකි.

“ආරාධනා” චිත්‍රපටිය ඔහුගේ සංගීත නිර්මාණ නිසා බෙහෙවින් ජනප්‍රිය විය. ඒ චිත්‍රපටියෙහි අමරදේවයන් ගැයූ ආරාධනා ගීතය වත්මනෙහිද ජනප්‍රිය ගීත නාමාවලියෙහි පවතී.

මේ සියලු කරුණු අනුව ඔහු සංගීත ලොවෙහි විශිෂ්ටයකු බව අවිවාදිතය. එහෙත් ඔහු සතු විශිෂ්ටතම ගුණය වන්නේ හෘද සාක්ෂියට එකඟව වැඩ කිරීමය. සුඛ විහරණ වෙනුවෙන් ඔහු ඒ වටිනා වස්තුව පාවා නුදුන්නේය. ගුවන් විදුලියේදී හඳුනාගැනීමෙන් පසුව තම ප්‍රියම්බිකාව බවට පත්වූ විශිෂ්ට ගායිකා මාලිනී බුලසිංහල එච්. එම්. ගේ කලා දිවිය ශක්තිමත් කළාය. මෙය අපූරු සුසංයෝගයකි.

එච්.එම්. ගතකළේ සරල අපිස් දිවියකි. අනුන්ගේ ඇදකුද සෙවීමට කාලය ගත නොකර සංගීත කලාව දියුණු කිරීම සඳහා මුළු දිවියම කැප කිරීම ඔහුගේ විශේෂත්වය විය.

එච්.එම්. ගේ ආභාසය ලැබ සංගීත ඥානය දියුණු කරගත් අංකුර කලාකරුවන්ගේ ගණන විශාලය. විශාරද අමරදේවයන්ගේ පටන් තරුණ ගායක ගායිකාවන් දක්වා එච්. එම්.ගේ ගී තනු ප්‍රයෝජනයට ගත් සංඛ්‍යාවද විශාලය.

එච්.එම්.ගෙන් නූතන කලාකරුවන්ට ලබාගත හැකි වටිනාම ආදර්ශය වන්නේ කලාවේ අරමුණ වෙනත් අරමුණුවලින් යටපත් නොකිරීමය. එමෙන්ම නව සංගීත සම්ප්‍රදායක් බිහිකර ගැනීම සඳහා ස්වාධීන මනසකින් වැඩ කිරීමේ කලාවද එච්.එම්.ගෙන් ඉගෙන ගත හැකි අගනා පාඩමකි. මේ ලක්ෂණ අනුව එච්.එම්.ට සමාන කළ හැකි සංගීත ශිල්පියකු හිටියා නම් ගුණදාස කපුගේ පමණි. කපුගේ ජීවිතයෙන් සමුගෙන වසර පහළොවකි. එහෙත් ඔහුගේ නාමකාය නොනැසී පවතී. එච්.එම්.ගේ නාමකායද සිංහල සංගීත රසිකයගේ මතකයෙන් කිසිදා නොමැකෙනු නිසැකය.

මාතෘකා