නවකවදයේ වගකීම කාටද?

නවකවදයේ වගකීම කාටද?

නවකවදය දරාගත නොහැකි බවට ලිඛිතව සටහන් තබා හෝමාගම ජාතික විද්‍යා තාක්ෂණ ආයතනයේ සිසුවෙක් දිවි නසාගෙන තිබේ. නවකවදය නිසා බිලිගත් පළමු බිල්ල එය නොවන අතර අවසන් බිල්ලද එය වෙතැයි සිතිය හැකි නොවේ.

නවකවදය දෙන්නේ කවුරුන්දැයි කියා වගකීම කිසිවෙක් බාර නොගනී. 21 වන සියවස යැයි පුරසාරම් දෙඩුවද චින්තනය තවදුරටත් 16 වන සියවසේ නම්, නඩත්තු වන්නේ ඊට උචිත මානසික මට්ටම්ය. අනෙකා පෙළීම, රිදවීම එවන් මානසිකත්වයන්ගේ ස්වරූපයි.

'පුරවර පින් බිමේ, භේද නැත නොයෙක් පෙදෙසේ, සබඳ නුඹ නිදහස්...' කියා වැකියක් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විණි. නවක සිසුන් පිළිගැනීම උදෙසා එය සටහන්කොට තිබිණි.

ඒ කෙසේ වුව බොහෝ සරසවි තුළ තත්ත්වය එතරම් ආස්වාදනීය නැත.

පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම විද්‍යා පීඨයට ඇතුළු වූ රූපා රත්නශීලි සිසුවිය උඩු මහලෙන් බිමට පැන සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූයේ නවකවදය ඉවසාගත නොහැකිවය. එය සිදුවූයේ 1975 වර්ෂයේදීය. 1993දී අඟුණුකොළපැලැස්‌ස කෘෂිවිද්‍යා පීඨයේ නිරෝෂණ සිසුවාගේ මරණයද නවකවදය නිසා සිදු විය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ නවක සිසු වරප්‍රකාශ්, අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ තුෂාර කැලුම්, සබරගමු විශ්වවිද්‍යාලයට තේරී පත්වූ අමාලි චතුරිකා වැනි විශාල පිරිසක් නවකවදයෙන් පීඩා විඳ ජීවිත නැති කර ගත්හ.

අධ්‍යාපන ආයතනවල හිංසනය වැළැක්වීමේ (නවකවද) පනත හා ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකපිට වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය පරිශ්‍රයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනකු කුලියාපිටිය පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද අතර කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු එම සැකකාර සිසුන් පිරිස 28 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කොට තිබෙන පුවත නවකවදය සම්බන්ධව ආසන්නම පුවතයි.

නවකවදය අනුන් හිරිහැරයට ලක් කිරීමේ ක්‍රියාවලියකි. මෙහි ලොකුම ගැටලුව සහ අරුමය වන්නේ නවකවදය දෙන කිසිවෙක් තමන් ඊට සම්බන්ධ බව නොපිළිගැනීමයි.

‘කිසිවකුට හිංසා කිරීමේ හෝ පීඩා කිරීමේ අයිතියක් කිසිවකුට නැත’.

එනයින් ගත් කල අදාළ පිරිස නවකවදය ලබාදී ඇත්නම් ඒකාන්තවම ඔවුන්ට දඬුවම් හිමි විය යුතුය.

විශ්වවිද්‍යාල තුළින් ආරම්භ වුණු නවකවදය අද වන විට කාර්මික විද්‍යාල, විද්‍යා පීඨ හා අනෙකුත් උසස්‌ අධ්‍යාපන ආයතන හරහා පාසල් හා පිරිවෙන් දක්‌වාම ව්‍යාප්ත වී ඇත.

නවකවදය මැඬලීම සඳහා "1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්‌වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත" ගෙන ඒම නවක වදයට එරෙහි ඉතා සාධනීය පියවරක් විය .

"අධ්‍යාපන ආයතනවලින් නවකවදය සහ වෙනත් ස්‌වරූපයේ සාහසික ක්‍රියාද, කෲර, අමානුෂික සහ නින්දිත සැලකීම්ද තුරන් කිරීම සඳහා වූ පනතකි." යනුවෙන් එහි පූර්විකාවේ වෙයි.

වාචික, ශාරීරික සහ මානසික වද ලෙස නවකවදය කොටස් කළ හැකිය. ඇතැම් අවස්ථාවල නවකවදය කෙතරම් උග්‍ර මුහුණුවරක් ගෙන තිබුණේද යත්, කලකට පෙර මුදල් වැයකොට නිවසක් පවා කුලියට ගෙන නවකවදය දුන් සරසවි සිසුන් පිරිසක් ගැන අසන්නට ලැබිණි.

ඇතැම් තැනක එසේ සිදුවෙද්දී නවකවදය වෙනුවට බෙහෙවින්ම අපූරු ව්‍යාපෘතියක් මීට දෙවසරකට පෙර ජ'පුර ව්‍යවහාරික විද්‍යා පීඨය විසින් සිදු කරනු ලැබීය. එය ග්‍රාමීය පාසලකට අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් තැනීමේ ව්‍යාපෘතියට මූල්‍ය පහසුකම් සොයා ගැනීම උදෙසා සිදු කළ 'සිසි අරුන්දතී' වැඩසටහනය. එවන් උදාර කටයුතු සිදුවන්නේ නිර්මාණශීලී හදවත් ඇත්තන් අබියසය.

සරසවි සිසුන් බොහොමයක් නිතර අරගල කරනුයේ 'නූපන් දරුවාගේ පවා හෙට දවස ආරක්ෂා කිරීමට' කැප වන බවට ශපථ කරමිනි. එකී උදාර අපේක්ෂාව සහ සිහිනය තමන් හා ඉගෙන ගැනීමට එන නවක සිසුවා කෙරෙහිත් හටගන්නේනම් එය අපූරුය.

මාතෘකා